hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 14, පෙ.ව. 6:46



සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂ ලෙස ආණ්ඩුවට එක් නොවීම හේතුවෙන්.

මේ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජන බලවේගය හැර සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පවත්වා යෝජනා ලබා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පසුගිය 12 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එයද විසඳුමකින් තොරව අවසන් වී තිබෙන බව එම ආරංචි මාර්ග පැවසුවා.

ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ ඇතැම් දේශපාලන පක්ෂ ඇමැතිධුර ලබා ගැනීමටද, ඇතැම් පක්ෂ ඇමැතිධුර ලබා නොගෙන සහයෝගය දැක්වීමටද එකඟත්වය පළ කර තිබෙනවා.

ඇතැම් දේශපාලන පක්ෂ පිටත සිට සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීද කරුණු පැහැදිලි කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පක්ෂ විසින් ලබා දුන් යෝජනා සෑම පක්ෂයකටම ලබා දෙන අතර ඉන් පසු ලබන සතියේදී අදහස් ලබා ගනිමින් වැඩපිළිවෙළ සකස් කිරීමටද සැලසුම් කර තිබෙනවා.

පවතින ආණ්ඩුවේ ඇමැති ධුර 18ක් මේ වන විට පත් කර තිබෙනවා. දේශපාලන පක්ෂවලින් වෙන් වෙන් වශයෙන් මන්ත්‍රිවරු පැමිණීම නිසා ඇමැතිධුර, රාජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාවද ඉහළයා හැකියි.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිවරුන් ලබන සතියේදී දිවුරුම් දීමටද සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු මන්ත්‍රිවරු 15කට වැඩි සංඛ්‍යාවක් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: