hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 07, පෙ.ව. 10:43



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වී පසුව තමන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිසිවකුට පොහොට්ටුවේ අනුමැතියකින් තොරව සර්ව පාක්ෂික ආණ්ඩුවේ තනතුරු සහ පිළිගැනීම ලබා නොදිය යුතු බව එම පෙරමුණ නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

එහෙත් එම ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කිරීම ගැන තම පක්ෂය විරෝධය නොදක්වන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනුම්දී තිබෙනවා.

මේ පිරිස පොහොට්ටුවෙන් මන්ත්‍රී ධුර ලබාගෙන පසුව තමන්ගේ අභිමතය පරිදි ස්වාධීන වූ බව ප්‍රකාශ කරන හෙයින් පොහොට්ටුව මෙම තීරණය ගත් බව ආරංචි මාර්ග පැවසූවේ.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා හෙට (08) දිනය වන විට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයන් සහ 43වන සේනාංකය සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවලදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමග පමණක් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.