hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 03, පෙ.ව. 8:32



හෙට (04) ආණ්ඩු පෙරළියක් සිදුවන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (04) ප්‍රකාශයක් සිදුකරනු ඇති.

ඒ අනුව අගමැතිවරයා ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලයද අහෝසි වනවා.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කළා.

ඇමති මණ්ඩලයට 10යි

පිහිටුවීමට යන අන්තර්පාලන ආණ්ඩුවක කැබිනට් ඇමැතිධුර 10ක් පමණක් පත් කිරීමට මේ වන විට එකගතාවයක් ඇතිකරගෙන ඇති බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

එහිදී එම ඇමැතිවරුන් මෙන්ම බව අගමැති තෝරා ගැනීම විශේෂ සභාවකින් සිදු වන බව වාර්තා වනවා.

මේ අතර ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

අලුත් ආණ්ඩුවේ නම වෙනස්

ඒ අනුව ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරන ලද්දේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලද සාකච්ඡාවේ දිගුවක් ලෙස බව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත‍්‍රී කණ්ඩායම සඳහන් කරනවා.

ජනාධිපතිවරයා සමග අන්තර්කාලීන ආණ්ඩුව සමග පැවති සාකච්ඡාවේ දී සෙසු පක්ෂ ද ඒ සඳහා එකඟ කරවා ගන්නා ලෙස ජනාධිපතිවරයා දැන්වූ බවත් ඒ සදහා කමිටුවක්ද නම් කරන ලද බවත් එම මන්ත්‍රී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.

සජබ – ජවිපෙ සමඟ සාකච්ඡාවක්?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කළ කරන ලද්දේ ඒ අනුව බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ඉදිරියේදී සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ පාර්ලිමේන්තුවේ සිසු සියළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළා.

නමුත් එම පක්ෂ වලින් සහභාගිවන නියෝජිතයන් කවුද යන්න තීරණයක කිරීම ඔවුන් සතු කාර්යයක් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

අලුත් අගමැති පොහොට්ටුවෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ  අන්තර්වාර පාලනයක් ඇති කිරීම රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම  විසඳුම බවයි.

එම අගමැති ධූරය සඳහා තමාගේ මතය අනුව වඩාම සුදුස්සා ඩලස් අලහප්පෙරුම මහතා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී වැඩිම ජනවරම ලැබුණේ පොහොට්ටුවට හෙයින් අගමැතිවරයකු පත් කිරීමේ අවස්ථාව ඒ කණ්ඩායමට ලැබිය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති නොවනවානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනත් නමක් යෝජනා නොකරන බවයි වාර්තා වන්නේ.

නමුත් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ වැඩි කැමැත්ත ඩලස් අලහප්පෙරුම මහතා අගමැතිවරයා ලෙස නම් කිරීමටයි.

සජබ, ජාතික ජන බලවේගය, දෙමල ජාතික සන්ධානය, ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් සමඟ නව ආණ්ඩුවට එක් කර ගැනීමට සාධනීය සාකච්ඡා ආරම්භ කර නොමැති බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: