hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 14, ප.ව. 12:32



මාලදිවයින සම්බන්ධයෙන් ජර්මනියේ දී තමන් කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා වැරදි ලෙස අර්ථකතනය කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව කිසියම් අපහසුතාවයකට පත්වූයේ නම් ඊට සමාව අයදින බවයි, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.

පසුගියදා බර්ලිනයේ පැවති සංචාරක වැඩසටහනක දී මෙරට සංචාරක ගමානාන්තයන් පිළිබඳව අමාත්‍යවරයා අදහස් පළ කළ අතර එහිදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව සංසන්දනය කරමින් ඔහු අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශයට එරෙහිව මාලදිවයිනේ සංචාරක අමාත්‍ය අබ්දුල්ලා මව්සූම් මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රතිචාර දක්වා සිටියේ ට්වටර් පණිවිඩ නිකුත් කරමින්.

එමගින් ඔවුන් පෙන්වා දී තිබුණේ, පසුගිය වසර 3ක කාලය තුළ මාලදිවයින ලොව හොදම සංචාරක ගමනාන්තය බවට පත්වෙමින් සම්මානයටද පාත්‍රවූ බවයි.

ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවක් හෝ සැකයක් ඇත්නම් නැවත නැවතත් කණ්ණාඩියක් ඉදිරිපිටට ගොස් විමසන ලෙස මාලදිවයිනේ සංචාරක අමාත්‍ය අබ්දුල්ලා මව්සූම් සිය ට්විටර් පණිවිඩයේ දක්වා තිබෙනවා.

මෙම ප්‍රකාශ වලින් අනතුරුවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ පැහැදිළි කිරීමක් සිදු කළේ.

එමගින් ඔහු සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අසල්වැසියා සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් දක්වා තිබෙනවා.