hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 19, පෙ.ව. 9:48



තීරණාත්මක පියවරක් ගැනීමට තමන් පාර්ලිමේන්තුව බලා යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා.

මිට සුළු මොහොතකට පෙර ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු අවස්ථාවේදී තමන් නිවැරදි තීරණයක් ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ ට්විටර් සටහන පහතින්,

මේ අතර පුරප්පාඩු වී ඇති ජනාධිපති ධූරය සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ නාම යෝජනා භාර දීම අද (19) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත යි.

මේ හේතුවෙන් ඊයේ (18) සිට පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂාව තර කර තිබූ අතර අධි ආරක්ෂිත වැඩපිළිවෙළක් මත මෙලෙස ආරක්ෂාව දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුවට ඇතුළු වන පිවිසුම් මාර්ග සියල්ලම මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ සහ පාර්ලිමේන්තුවට පිවිසෙන සෙසු මාර්ගවල ගමන් කිරීමට අවසර හිමි වන්නේ එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණයි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කැඳවා ඇති අතර ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් අනුව ඊයේ සිට මෙම සතිය තුළ පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වනවා.

මේ සඳහා කැරලි මර්දන ඒකක ද කැඳවා ඇති අතර අරගලකරුවන් පැමිණ පාර්ලිමේන්තුව පැවැත්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ දැරුවහොත් ඒ සඳහා උපරිම බලය භාවිත කර එම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම වැඩබලන ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාගෙන් සැදුම්ලත් කමිටුවක් වෙත භාර දී තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඒ අනුව අද දිනය (19) වෙන් වන්නේ ජනාධිපති ධූරයට නාම යෝජනා භාර ගැනීම සඳහා යි.

එක්සත් ජාතික පක්ෂයෙන් වත්මන් වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඩලස් අලහප්පෙරුම මහතාත්, සමගි ජන බලවේගයෙන් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතාත්, ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතාත් සිය නාමයෝජනා ලබාදෙන බව මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනට ප්‍රකාශ කර ඇති අපේක්ෂකයින් 04 දෙනාගෙන් එක් අයෙකු අද දිනයේ නාමයෝජනා භාර නොදීමට සූදානමක් පවතින බවයි.

එසේ වුවහොත් අදාල අපේක්ෂකයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම පක්ෂයේම තවත් මන්ත්‍රීවරයෙකුගේ නම ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවටද වාර්තා පල වනවා. 

මේ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ කිහිපයක් සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග අනාවරණ කළා.

මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබඳව මීට පෙර ඇත්තේ එක් අත්දැකීමක් වන අතර එනම් 1993 වසරේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ අභාවය නිසා එවකට වැඩබලන ජනාධිපති ඩී.බී. විජේතුංග ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා තේරී පත් වීම යි.

එය ඡන්ද විමසීමක් නොමැතිව සිදු වූ නමුත් මෙවර අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බව දැනටම ත් පවසා ඇති හෙයින් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව තිබෙනවා.

ඒ අනුවම, එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට නවමු අත්දැකීමක් බව දේශපාලන විචාරකයන් පවසනවා.

පවතින සම්ප්‍රදායට අනුව ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපති ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියට අදාළ කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත හරහායි.

ජනාධිපති ධූරය පුරප්පාඩු වී ඇති බව නිවේදනය කිරීමේ සිට පැය 48කට (දින දෙකකට) කලින් නොවන එමෙන් ම දින හතකට පසු නොවන දිනයක මහ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවෙන් නාම යෝජනා භාර ගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතු බවත් එය අද අඟහරුවාදා උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වී නාම යෝජනා භාර ගැනීම කළ යුතු බව මහ ලේකම්වරයා සභාවට පසුගිය 16 වන සෙනසුරාදා දන්වා සිටියා.

නාම යෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා යි. යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයකුගේ නමක් පමණක් යෝජනා කර, ස්ථිර කළහොත්, එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරනු ලැබ තිබෙන බව අද (19) දින ම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: