hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 22, පෙ.ව. 1:43



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබා දී ඇති නිවාස 110න් 60කට ආසන්න සංඛ්‍යාවක රැඳී සිටින්නේ එම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්, හිතවතුන් සහ ආරක්ෂක නිලධාරීන් බව අලුත්ම කරුණු සොයා බැලීමක දී තොරතුරු අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

තවත් නිවාස කීපයක හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු රැඳී සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අනුව මන්ත්‍රී නිල නිවාස පිටස්තර පුද්ගලයන්ට ලබා දීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම සියලුම මන්ත්‍රීවරුන්ට පසුගියදා යළි සිහි කැඳවීමක් කර තිබෙනවා.

මන්ත්‍රී නිල නිවාස සම්බන්ධයෙන් වෙනම ගිවිසුමක් පවතින අතර එම නිල නිවාස පිටස්තර අයට ලබාදීම තහනම් බව එහි පැහැදිලිවම සඳහන් වනවා.

මේ අතර නිල නිවාස ලබාගෙන සිටින රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ තවමත් රැඳී සිටින බව වාර්තා වනවා. ඒ අයට ඉන් ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනටමත් දැනුම් දී තිබෙනවා. 

කොළඹින් නිල නිවාස ලබාගෙන සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් පසුගිය දා ඉවත්ව ගිය බව වාර්තා වුණා.