hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 7:11



පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.

රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා 
මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන 
බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් (කේවල හා අනුපාත ක්‍රමයක්) සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් 
කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ආර්ථිකයේ කඩා වැටීම. අනික මේ රටේ දේශපාලන ක්‍රමය රටේ බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කිරීම. මේ ආර්ථික කඩා වැටීම ඇති වුණේ දේශපාලන ක්‍රමය නිසා කියලා බොහෝ දෙනෙක් කියනවා. ආර්ථිකය වෙනුවෙන් ගන්න ක්‍රියා මාර්ග ගැන අපි කතා කර තිබෙනවා. මම ඒ ගැන මෙතන වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙත් දේශපාලන වැඩපිළිවෙළ ගැන අපේ අවධානය යොමු කළ යුතුයි. අද මේ රටේ ජනාවගෙන් බහුතරයක් රටේ දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දියවන්නා ඔයට දාන්න කියලා කියනවා. එහෙම කියන්නේ පුද්ගලයන් නිසා නොවේ, දේශපාලන ක්‍රමය පිළිගන්නේ නැති නිසා. පසුගිය මාර්තු මාසයේ මේ උද්ඝෝෂණ පටන් ගත්තේ දේශපාලන පක්ෂ නොවේ, දේශපාලන පක්ෂවල උද්ඝෝෂණවලට ජනතාව අවේ නැහැ. ජනතාව වෙනම ඉදිරියට ආවා. අවාසනාවකට මැයි, ජුනි වෙන කොට එක් එක් දේශපාලන සංවිධාන විසින් මේ විරෝධතා ව්‍යාපාරය තමන්ගේ අතට ගත්තා. ඒ සමගම ප්‍රචණ්ඩත්වයත් ආවා. ප්‍රචණ්ඩත්වය සමග රටේ ආණ්ඩු බලය අල්ල ගන්න ක්‍රියා කළා. ඒ නිසා එදා තිබුණු අරගලය කඩා වැටුණා. තවමත් ජනතාව කියන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. ප්‍රචණ්ඩත්යට කවුරුවත් කැමති නැහැ. මේක අපි පිළිගන්න ඕන. මේ ආකල්පය වෙනස් 
කරමින් තමයි අපි ඉදිරියට ගමන් කළ යුත්තේ.

පක්ෂ ක්‍රමය නිසා අද පාර්ලිමේන්තුවේ එක එක කණ්ඩායම් බිහි වෙලා තිබෙනවා. ජනාධිපති ධූරයට පත්වෙන්න මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. ඒක රහසක් නොවේ. සුළුතරයක් වෙනත් අපේක්ෂකයන්ට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම මට විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් ඡන්දය දුන්නා. සජබෙ ඒ වගේම ද්‍රවිඩ පක්ෂවලත් මන්ත්‍රීවරු මට ඡන්දය දුන්නා. ඒ නිසා දෙපැත්තෙන්ම මට ඡන්දය ලැබුණා. මම පටු පක්ෂ භේදයකින් තොරව ජනතාවාදීව ක්‍රියා කරනවා. දැනට විපක්ෂයේ 
ඉල්ලීම අනුව පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අධීක්ෂණ කමිටු වගේ කමිටු ස්ථාපිත කරලා තිබෙනවා. ඒත් මේවා සම්පූර්ණ කරන්න බැරි වෙලා තිබෙනවා. සමහරු ජාතික සභාවට එනවා සමහර අය එන්නේ නැහැ. රට බලාපොරොත්තු වෙන්නේ සියලුදෙනාම එකට එකතුවෙලා වැඩ කටයුතු කරයි කියලා. අපි මෙතනින් නවතින්න හොඳ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හිතලා ඒ අනුව අපි කටයුතු කළයුතුයි. ජනතාවට ගම් මට්ටමේ දේශපාලනය එපා වෙලා තිබෙන නිසා අද අලුත් සංකල්පයක් අපි පිළිගන්නවා. ආණ්ඩුව නොවේ හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා ජන සභා ක්‍රමය ඉදිරිපත් කරලා තිබෙනවා. හැම ඡන්ද කොට්ඨාසයකම ඒ ගමේ තිබෙන පොදු සංවිධාන එක් කරලා එක් කමිටුවකින් ඒ වැඩකටයුතු කරන්න. ඒවට තමයි ජනසභා කියන්නේ. ඒ ක්‍රමය හොඳයි. මීට පෙරත් මේ ක්‍රමය තිබුණා ග්‍රාමෝදය මණ්ඩලය හැටියට. ඒක ආණ්ඩුවට සම්බන්ධ එකක්, මෙය ආණ්ඩුවට සම්බන්ධ නොවන එකක්. මේ ජන සභා වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න බලාපාරොත්තු වෙනවා.
” යැයි ජනාධිපතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: