hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 19, පෙ.ව. 10:53



තමන් ඌබර්ට් එන්ජල් හෝ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණක් බවත්, ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තමන්ට නොමැති බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

තමන් එක්වතාවක් ඔවුන් මුණ ගැසුනේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය නිල වශයෙන් කළ ඉල්ලීමක් නිසාවෙන් බව රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

ඌබර්ට් එන්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබෙනවා.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුද්ධාගම සහ අනෙකුත් ආගම් සම්බන්ධයෙන් සිදු කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශ තමන් හෙළා දකින බවත්, ජාතීන් අතර අසමගිය හෝ වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ වලට අප රටේ ඉඩක් නොමැති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

තමන් අග්‍රාමාත්‍යවරයා සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ධුර දරන අවස්ථාවේදී දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලයෙන් නිල වශයෙන් හමුවක් ඉල්ලා ඉල්ලීමක් තමන්ට ලැබුණු බව රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

හොඳ හිත වර්ධනය කරගැනීමේ සහ මුණ දෙන ගැටළු සොයා බැලීමේ අරමුණින් තමන් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අවස්ථාවේදී ආගමික නායකයන් සහ නියෝජිතයන් මුණ ගැසීමට ප්‍රමුඛත්වය ලබා දී තිබූ බවත්, ඒ හේතුවෙන් එම ඉල්ලීම පිළිගත් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එය සුහද හමුවක් වූ අතර එහිදී දේවගැතිවරුන් දෙදෙනාම තමන් සහ බිරිඳ වෙනුවෙන් යාඥාවක් පැවැත්වූ බවත් එය නිල හමුවක් බැවින් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළ බවත් ඒ හැර තමන්ට ඔවුන් සමඟ පුද්ගලික සම්බන්ධයක් නොමැති බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.