hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 12, ප.ව. 2:05



ගල් අඟුරුවලින් ඉන්ධනවලින් කොමිස් ගත්තා යැයි  කියනවා නම් එය ඔප්පු කිරීම සඳහා රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසුවා.

ගල් අඟුරු මිලදී ගැනීමේදී හෝ ඉන්ධන මිලදී ගැනීමේදී තමාට කිසිවෙකුත් බලපෑම් කර නැතැයි ද ඔහු සඳහන් කළා.

කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කර සිටියා.

“ගල් අඟුරු වලින් ඉන්ධන වලින් කොමිස් ලබාගන්නවා කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා චෝදනා කරනවා. එතුමාට අපේ අමාත්‍යාංශයේ වාර්තා හැම එකක්ම පරික්ෂා කරන්න පුළුවන්. ඉන්ධන  ආනයනය කරපු හැම  වාර්තාවක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ  ඕන දෙයක් කියන්න පුළුවන්. මම එතුමාට කියනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන  ආනයනය සම්බන්ධයෙන් හෝ පහුගිය මාස දහඅටක කාලය තුළ දූෂණයක් කර ඇත්නම් එළියේ එතුමාට නඩු කට වලට යන්න පුළුවන්.  වංචා දූෂණ ගැන තොරතුරු අරගෙන විවාදයකට එනවා නම් මමත්  එනවා. එතකොට එතුමාගේ දැනුම බලාගන්න පුළුවන්. එතුමා හැමදාම ෆයිල් තියෙනවා කියනවා. නමුත් නඩු දාපු එකම ෆයිල් එකක්වත් නැහැ. ඉන්ධන ආනයනයට  අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ මම. මට ඒ ගැන කවුරුවත් බලපෑම් කරන්නේ නැහැ. වංචාවක් වෙලා තියෙනවා නම් ඕනම අධිකරණයකට යන්න පුළුවන්.”

විජේසේකර මහතා මෙසේ පැවසුවේ බලශක්ති සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීයි.