hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 06, ප.ව. 8:36



ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අද (06) පස්වරුවේදී නුගේගොඩ දී ජන රැළියක් සංවිධාන කර තිබුණා.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

මර්ධනය නවතනු, හදිසි නීතිය හා රාජ්‍ය ත්‍රස්ත අණ පනත් වහා හකුලා ගනු, පැහැර ගත් අරගලකරුවන් වහා නිදහස් කරනු යන තේමා පාඨ මුල් කරගනිමින් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එක්ව මෙම මහජන රැළිය සංවිධානය කර තිබුණා.

ඊට එක්වුණ පිරිස කිරුළපන ලලිත් ඇතුලත් මුදලි ක්‍රීඩාංගණය, දෙල්කඳ මංසන්ධිය සහ කොහුවල මංසන්ධියේ සිට විරෝධතා පා ගමන් තුනකින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය දක්වා පැමිණියා.

අරගලකරුවන් පිරිසක් ගිලන් රථ වලින් පැමිණ විරෝධතාවය සඳහා එක්වුණ ආකාරය ද දක්නට ලැබුණා.

ගාලු මුවදොර අරගලකරුන්ගේ විශේෂ ප්‍රකාශය ද එහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“දැන් මේ කරන්නේ ව්‍යවස්ථානුකූල මර්ධනයක්. ව්‍යවස්ථානුකූල මර්ධනයට දෙන්න ඕනේ ව්‍යවස්ථානුකූල උත්තරයක්. ජනාධිපති, අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව මේ දෙකේ තමයි ඒ ගොල්ලන්ට බලය තියෙන්නේ. මහජන ප්‍රහාරය අවශ්‍ය වන්නේ මේ තැන් දෙකට. ජූලි මාසයේ 9 වෙනිදා එක පාරක් විධායක ජනාධිපතිවරයාට ගැහුවා. තව පාරක් විධායක ජනාධිපතිවරයාට ගහන්න ඕනේ ඒ රනිල් වික්‍රමසිංහට. එයාව ඉවර කරන්න ඕනේ දේශපාලන වශයෙන්. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවට දේශපාලන ප්‍රහාරයක් දෙන්න ඕනේ. අන්න ඒ තැන් දෙකට ප්‍රහාරය දෙන්න ජනතාවට පෙළ ගැහෙන්න කියලා ආරාධනා කරනවා.”