hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:05



මුතුරාජවෙල අධි සංවේදී පරිසර පද්ධතියේ ජා ඇල කලාපයේ ගොඩකිරීම් සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලබා දී ඇති අනුමැතිය තාවකාලිකව වහාම අත්හිටුවන ලෙස ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඉල්ලා සිටියි.

එහිදී අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කිසිදු අවස්ථාවක අනුමැතිය ලබා දී නොමැති විට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් ගොඩ කිරීමට අනුමැතිය ලබා දුන්නේ කුමන පදනමකින්ද? දිස්ත්‍රික් සංවර්ධන කමිටු තුනකදී මුතුරාජවෙල අධි සංවේදී කලාපයේ අදාළ ගොඩකිරීම් නවත්වන්නැයි උපදෙස් ලබා දී තිබියදී කිහිප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට ඉඩ ලබා දිය නොහැක. කතෝලික සභාව, ආගමික නායකයින්, පරිසර සංවිධාන, මහජනතාව ඇතුලු සියලු කේෂ්ත්‍රයන්ගේ විරෝධය එල්ල වෙමින් තිබියදී මෙලෙස කටයුතු කිරීම ගැන අපගේ දැඩි අප්‍රසාදය පළ කර සිටිනවා.

අවම වශයෙන් විෂයභාර අමාත්‍යවරයා හෝ දැනුවත් කිරීමක් නොකර එම කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ක්‍රියාකලාපය බරපතල වැරදි සහගත ක්‍රියාවක්. මේ පිළිබඳව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු අනුකමිටු දැනුවත් කර අදාළ ක්‍රියාමාර්ග ගන්නා තුරු එම ගොඩකිරීම් තාවකාලිකව අත්හිටුවන්න.

පරිසරය, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරනවිට තවත් පිරිසකට ඒ පරිසරය විනාශ කිරීමට කිසිසේත් ඉඩ ලබා දිය නොහැකියි. මුතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, සීමීත පිරිසකට පරිසරය විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව” නිමල් ලාන්සා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: