hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 15, පෙ.ව. 3:49



හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ ඇති ආරක්ෂක නිවාසයක සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

අරලියගහ මන්දිරය අවට ප්‍රදේශයේ පැවැති අනාරක්ෂිත බව නිසා මෙලෙස ආරක්ෂිත ස්ථානයකට රැගෙන ආ බවත් රට තුළ සාමකාමී වාතාවරණයක් ඇතිවූ පසු තව දින කිහිපයකින් ඒ මහතා තමා කැමැති ස්ථානයකට යනු ඇති බවත් ඔහු එහිදී සඳහන් කළා.

නමුත් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පිළිබඳ ඊට පසු වෙනත් තොරතුරක් වාර්තා වූයේ නෑ.

නමුත් රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් තත්වය ගැනත් අගමැතිධූරයෙන් ඉවත් වීම ගැනත් විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.

ඒ යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

මහින්දට දුරකතන ඇමතුමක්

උදයංග වීරතුංග මහතා එහිදී සඳහන් කර තිබුණේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ආරක්ෂක නිවාසයක රැඳී සිටින මහින්ද රාජපක්ෂ මහතාට තමා නිරන්තරයෙන් කතා කළ බවයි.

ඒ අනුව හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලයට ගිය පසු අවශ්‍ය තොරතුරු ලබා දීමට දුරකතනයෙක් කතා කළ බවත් කතා කළ වාරගාන අවශ්‍ය නැති බවත් උදයංග වීරතුංග මහතා කියා සිටියා.

මහින්ද රාජපක්ෂ අද සිටින්නේ කළකිරුණු මානසික තත්වයෙන් බවද ඒ මහතා ප්‍රකාශ කළා.

ඉවත් කිරීම කුමන්ත්‍රණයක්

පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීම කුමන්ත්‍රණයක් බවත් ඔහුව ඉවත් කිරීම සාකච්ඡා මාර්ගයෙන් සිදුනොකර මේ ආකාරයට සිදු වීම ගැටලුවක් බවත් ඔහු අවධාරණය කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ඉල්ලා සිටි නිසා ඉල්ලා අස්වූ බවයි වීරතුංග මහතා හෙළිදරව් කළේ.

පසුගිය මැයි 09 වැනිදා තමා සිටියේ අගමැතිවරයා සමඟ බවත් එදා අරලියගහ මන්දිරයට පැමිණි පාක්ෂිකයින් කිසිදු ලෙසක ගෝල්ෆේස් යාමේ සූදානමක් නොතිබුණු බවත් ඔවුන්ට යන්න කියා ප්‍රකාශ නොකල බවත් වීරතුංග මහතා සඳහන් කළා.

ගෝඨා – මහින්ද මැද්දට කණ්ඩායම් දෙකක්

ගෝල්ෆේස් සිද්ධිය සිදු වීමට උත්තේජනය ලැබුණේ කොහෙන්ද යන්න සොයාබැලිය යුතු බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර තිබෙන පාලම අතරට අතරමැදියන් පැමිණි බවයි උදයංග වීරතුංග මහතා හෙළි දරව් කළේ.

ඊට කණ්ඩායම් දෙකක් සිටින බවත් ඒ වියත්මග කණ්ඩායම සහ නෙළුම් මාවත කණ්ඩායම බවත් ඒ අනුව ගෝඨාභය සහ මහින්ද අතර විරසකය ඇති කළේ එම පිරිස බවත් හෙතෙම සඳහන් කළා.

නෙළුම් මාවතේ අදහස් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් බවත් එම අදහස් වියත්මගේ අදහස් වලට නොගැලපුණු බවත් පෙන්වා දෙන උදයංග වීරතුංග මහතා එනිසා ඇතැම් වේලාවට මත ගැටුම් ඇති වූ බවත් කියා සිටියා.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත් කරන තැනට පත් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වටේ සිටින කණ්ඩායම බවයි ඔහු සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: