hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 04, පෙ.ව. 9:48



වර්තමානයේ ගොවීන් මුහුණ පා සිටින ගැටළු පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඊයේ (03) පොළොන්නරුව නව වෙළඳ සංකීර්ණය අසල දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවීන් පැමිණ සිටි අතර මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දහම් සිරිසේන මහතාද සහභාගී වී සිටියා.

පෙ.ව 10.30ට පමණ ආරම්භ කරන ලද උද්ඝෝෂණය පැයක පමණ කාලයක් පැවති අතර උද්ඝෝෂණය අවසන් වීමෙන් පසු පැමිණ සිටි ගොවි නියෝජිතයින් අදහස් දැක්වුවා.

ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණේ සභාපති ජයසිරි බණ්ඩාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තම වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා නොදුන්නහොත් ඉතා පුළුල් වැඩපිළිවෙළක් සමඟින් ගොවීන් පෙරටුව පාරට බසින බවයි.

එසේම වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයාට වර්තමාන ගොවීන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙසද ජයසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා ගොවි ජනතාව මුහුණ දී සිටින බරපතල පීඩාකාරී දුක්ඛිත තත්වය, ගොවි ජනතාවගේ මහා ඛේදවාචකය රට පුරා ආණ්ඩු විරෝධී රැල්ලක් ගොඩනැගෙන අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණ සංවිධානය කරන ලද මෙම ගොවි උද්ඝෝෂණය සඳහා අපහට ආරාධනා කිරීම සම්බන්ධයෙන් එම ගොවි පෙරමුණට ස්තුතිය පල කළ අතර එම උද්ඝෝෂණය සිදු කිරීම මඟින් පොළොන්නරුව පමණක් නොව සමස්ථ දිවයිනේම ගොවීන්ගේ හඬ නියෝජනය කරන බවයි.

වර්තමානයේ ගොවීන් මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වය පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදීත් මෙවැනි ගොවි උද්ඝෝෂණ ව්‍යාපාර හා සම්බන්ධ වන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.