hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 මැයි 08, පෙ.ව. 9:22



අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඊයේ (07) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.

සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එහිදී සාකච්ඡා වී තිබෙනවා.

පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වනවා.

විශ්වාසභංගයට සහාය

මේ අතර සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ශ්‍රීලනිප ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වී සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

සජිත්ට අනුරට ආරාධනා

සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතට ඇරයුමක් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් මෙම ඇරයුම කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනවිසින්, “සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම” යන ශීර්ෂපාඨයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක ට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත එම ලිපි නිකුත් කරමින් ඒ බව දැනුම්දී තිබෙනවා.

හොඳම විසඳුම

ප්‍රබුද්ධ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා වගකිව යුතු දේශපාලන පක්ෂ ලෙස එම සාකච්ඡාවට සහභාගී වන ලෙස වැඩිදුරටත් එම ලිපියේ සඳහන්.

වර්තමානයේ රටේ උද්ගත වී ඇති ආර්ථික, සමාජීය හා දේශපාලනික අර්බුදයන් තුළ සාමාන්‍ය ජනතාවට බලවත් අපහසුතාවයන්ට පත්වී සමස්ත දේශපාලන ධාරාවන්ට ම චෝදනා එල්ල කරමින් සිටින බවත් එම තත්ත්වය වටහා ගෙන අර්බුද අවස්ථාවේ ලබාදිය හැකි හොඳම විසඳුම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත අර්බුද විසඳීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිම බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා එම ලිපිවලින් අවධාරණය කර තිබෙනවා.