hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූලි 15, ප.ව. 6:16



මීලඟ ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ගැනීමට මේවන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේවන විට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට සූදානමක් පවතින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය දින කිහිපයේදී විදෙස් තානාපතිවරු රැසක් හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇති අතර එහිදීද වත්මන් දේශපාලන ආර්ථික අර්බුද හමුවේ නැවත දේශපාලන ස්ථාවරත්වය ඇති කරලීමට කටයුතු කරන ලෙසත්, ඒ සඳහා ජනාධිපතිවරයා ලෙස නැවත පත් වුවහොත් සිය සහය උපරිමයෙන් ලබා දෙන බවටත් පොරොන්දු වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂ විරෝධි කණ්ඩායම් සහ විපක්ෂයේ පිරිසක් හිටපු ජනාධිපතිවරයා නැවත වතාවක් ජනාධිපතිවරයා පත් විය යුතු බවටත් ඊට සහය දීමට සූදානම් බවටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපතිවරයා නැවතත් ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් සමඟි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේද සහය ලබා ගැනීමට සාකච්ඡා කිරීමට ද සූදානම් බවයි වාර්තා වන්නේ.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි.

මේ අනුව එම පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා විසින් හෙට (16) නිවේදනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ලබන 19 වන අඟහරුවාදා නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව ලබන 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදුවන බවත් කථානායකවරයා පැවසුවා.