hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 15, ප.ව. 3:31



රට ගොඩනගන ආර්ථික විප්ලවයක අලුත් ආර්ථික රැල්ලක් අද ගාල්ලෙන් ආරම්භ කළ බවත්, දැන් කළ යුත්තේ සියලුදෙනාම එකට එක්ව රට වෙනුවෙන් නැගී සිටීම මිස තනිව නැගී සිටීම නොවන බවත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධානය කරන Glocal Fair 2022 සමාරම්භක උත්සවය ඊයේ (14) ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

දේශීය සහ විදේශීය රැකියා අපේක්ෂාවෙන් පසුවන සියලුදෙනාම අද සහ හෙට ගාල්ල සමනල ක්‍රීඩාංගනයට පැමිණෙන්නේ නම් ඒ සදහා අවස්ථාව ලබාගත හැකි බවත්, කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් මෙම දින දෙක තුළදී මෙහිදී ලබාගත හැකි බවද ඇමතිවරයා සඳහන් කළා.

මෙයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ විගමනික ග්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයද සිදු කෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද සඳහන් කළා.

කතාවක් තියෙනවා මුලු ලෝකයේම තියෙන දේශගුණික ලක්ෂණ ලංකාවේ තියෙනවා කියලා. මුලු ලංකාවේම දේශගුණය ගාල්ලේ තියෙනවා. ග්ලෝකල් කියන්නෙත් එහෙමයි. අනාගතය මේ රට ගොඩ නැගීමට අවශ්‍ය කරන, රටේ රුපියල ශක්තිමත් කරන්න පුලුවන්, ඩොලර් සංචිත වැඩි කරන, ලෝක අර්බුද හමුවේ නොසැලී සිටීමේ ශක්තිය ජනතාවට, ඔබට, ඇති කරන, ඒ වගේම පාසල් දූලා පුතාලට තිරසර අනාගතයකට මූණ දෙන්න පුලුවන් දැක්මක්, ශක්තිය ඇති කරන වැඩක් තමයි ග්ලෝකල් මේ උළෙල. මේක සම්පූර්ණයෙන්ම රජයට බරක් වෙන්නේ නැතිව සංවිධානය කරන්නේ, අපිත් එක්ක රට ගොඩනගමු කියලා, රට වෙනුවෙන් අපිත් එක්ක අත්වැල් බැදගෙන ඉන්න පිරිසක් දැක්වූ දායකත්වය නිසයි. ඔවුන් සිහිපත් කිරීමටත් මම අවස්ථාවක් කරගන්නවා.

මම ඉපදුනේ ගාල්ලේ. ඉගෙන ගත්තේ ගාල්ලේ. මම දේශපාලනයට පිවිසෙන්නේ ගාල්ලේ. මේ දේවල් නිසා ග්ලෝකල් ගාල්ලේ තියනවා කියලා කාටහරි කියන්න පුලුවන්. ඒ නිසා නෙමෙයි ගෝලෝකල් ගාල්ලෙන් පටන් පටන් ගත්තේ. දකුණෙන් පටන් ගන්න රැලි වලට මේ රට වෙනස් කරන්න පුලුවන් නිසයි, මම ග්ලෝකල් ගාල්ලෙන් පටන් ගන්නේ. මේ රට ගොඩ නගන ආර්ථික විප්ලවයක අලුත් ආර්ථික රැල්ලක් තමයි අද මේ ආරම්භ වෙන්නේ. අපි කරන්න ඕන, හැමෝම එකට එකතු වෙලා රට වෙනුවෙන් නැගිටින එක මිසක් එක එක්කෙනා සමග නැගිටින එක නෙමෙයි. ලෝකයේ ඉදගෙන අපි දිහා බලාගෙන ඉන්න, මේක අහගෙන ඉන්න, මෙතැන ඇවිත් ඉන්න සියලු ශ්‍රී ලාංකිකයින්ට මම ආරාධනා කරන්නේ රට වෙනුවෙන් අපි හැමෝම එකට එකතුවෙලා නැගිටිමු කියලයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: