hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 19, පෙ.ව. 11:30



රට තුළ පසුගිය 9 වැනිදා උද්ගත වූ  තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇමතිවරු කිහිපදෙනෙකු සිය ඇමති ධූරවලින් ඉවත් වූ බව සඳහන් කළද තවමත් එම ඇමති ධූරවල කටයුතු කරන බව වාර්තා වනවා.

විශේෂයෙන් පසුගිය 09 වැනිදා සිදුවීමෙන් පසු තමා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබුණා. 

නමුත් ඉන්ධන මිල අඩුවීමත් සමඟ නව බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍යාංශ අනුමැතිය ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ලබා දෙන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් ඇති වී තිබුණා.

කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ විෂය භාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා තවමත් කටයුතු කරන බවත් ඔහු ඉල්ලා අස්වී නොමැති බවත්ය.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබා ගැනීමට විෂය භාර ඇමැතිවරයා වෙත යොමු කර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරනවා. 

සංශෝධනයේදී බස් ගාස්තුව සුළු මුදලකින් අඩු වනු ඇති බවත් එම මිල ගණන් වෙනස් වීම පිළිබඳව අමාත්‍යාංශ අනුමැතිය අද (19) දිනයේ ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.

බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා කර තිබුණාත් ඒ සම්බන්ධව ඔහු 09 වැනිදා තබා තිබූ ෆෙස්බුක් සටහන මේ වන විට ඉවත් කරගෙන තිබෙනවා.

මේ අතර මහින්ද අමරවීර අමාත්‍යවරයාද සිය ඇමති ධූරයෙන් ඉවත් වූ බව පැවසුවද තවමත් ඇමතිකමේ වැඩ කටයුතු සිදු කරනවා.

ඒ අනුව ඉන්දීය රජයෙන් දුන් යූරියා පොහොර තොග බෙදාහැරීමේ කටයුතු කඩිනම් කිරීමට තවත් ඉන්ධන බවුසර් 5ක් සඳහා අවශ්‍ය මුදල් ඊයේ (18) ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත තැන්පත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා පොහොර සමාගමේ සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

පොහොර බෙදා හැරීමේදී ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැතිවීමෙන් ගැටලු පැන නැගී ඇති බවට වාර්තාවීමත් සමඟ ඊට අදාළ අංශවලට දුරකතනයෙන් කතා කළ අමාත්‍යවරයා පෙරේදා (17) දින තුළ ඩීසල් අවශ්‍ය ප්‍රමාණයන් එවීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ආනයනය කළ පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව මහින්ද අමරවීර මහතා මීට පෙර ප්‍රකාශ කළා.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත් පොහොර මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් පසුගිය 09 වැනිදා දිවයිනට පැමිණියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: