hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 18, පෙ.ව. 6:32



නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවටයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැත.

එනිසා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් යටතේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබෙනවා.

මෙම කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් අමාත්‍යධුර හිමිවිය යුතු දිස්ත්‍රික් නායකයන්ගේ ලැයිස්තුවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත, කංචන විජේසේකර යන අයෙග් නම් ඊට ඇතුළත් වී ඇතැයි වාර්තා වනවා.

එසේ වුවද මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම මහතාගේ නම මෙම ලේඛනයට ඇතුළත් වී නැතැයි වාර්තා වනවා. හම්බන්තොට දිස්ත්‍රික් නායකයා චමල් රාජපක්ෂ මහතා වුවද ඔහු ද අමාත්‍ය ධුරයක් භාර නොගනු ඇතැයි සඳහන්.

සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද නව කැබිනට් මණ්ඩල ට ඇතුළත්වීමට නියමිතව ඇති අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා යන මහත්වරුන්ටද අමාත්‍යධුර හිමිවීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව තුළ සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට තිබෙනවා.

කැබිනට් මණ්ඩලය තිස්දෙනකුගෙන් පමණ සමන්විත වනු ඇතැයි පැවසෙනවා.