hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 20, ප.ව. 2:43



නව කැබිනට් මණ්ඩලයේ අද දින දිව්රුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා එලෙස දිවුරුම් දුන්නේ පක්ෂයේ තීරණයට පටහැනිව බව හිටපු ජනාධිපති නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසුුවා.

එතුමා එහිදී වැඩිදුරටත් පැවසුවේ “මම අද දැක්කා උදේ නව කැබිනට් මණ්ඩලයේ තවත් ඇමැතිවරු දිවුරුම් දෙනවා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුත් දිවුරුම් දුන්නා. මම පැහැදිලිවම කියන්න ඕනේ ඒක නෙමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය වෙලා තිබුනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරලා තිබුණේ ඇමති ධුර බාර නොගෙන රට වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදීත්, පිටතදීත් අවශ්‍ය සහයෝගය රජයට ලබාදීමටය.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා පොහොර ගැටලුව සහ ඉන්ධන ගැටලුව පිළිබඳව ද මෙලෙස අදහස් පළ කළා.

“පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් තවමත් මට කියන දෙයක් තමයි රජය පොහොර තියෙනවයි තියෙනවයි කියනවා. නමුත් අපට හම්බවෙච්ච පොහොරක් තාම නෑ.ඉතින් මම කෘෂිකර්ම අමාත්‍යංශයට කියනවා එමෙන්ම රජයේ අනෙකුත් බලධාරීන්ටත් කියනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇවිල්ලා බලන්න පොහොර තියෙනවද,වල් නාශක තියෙනවා කියලා බලන්න කියලා.ඒ වගේම ගොවිතැන් කරන ජනතාවට ඉන්ධනත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ කටයුතු කරගෙන යන්න.ඔවුන්ගේ ඒ යන්ත්‍ර වලට අවශ්‍ය ඉන්ධන නැ. ඉතින් මේක තමා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තත්වය. ඒ වගේම තමා රටේ තත්වයත්. මම දැක්කා ඊයේ මාධ්‍ය වලත් දරුවන් සමග දෙමාපියන් ඉන්නවා ඉන්ධන පෝලිම් වල,හෙට අනිද්දා සාමාන්‍ය පෙළ ලියන දරුවන් තම දෙමව්පියන් සමඟ ඉන්ධන පෝලිම් වල ඉන්නවා. ඒ නිසා අද රටම හඬන වෙලාවක් මේක.”

හිටපු ජනාධිපතිවරයා නව රජයේ ගැටලු කිහිපයක් පිළිබදවද මෙලෙස අදහස් ප්‍රකාශ කළා.
“අපි සාකච්ඡා කරලා තිබුනේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, නමුත් මේ රජය සර්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. අපි එහිදී යෝජනා කරල තිබුනා කරුණු ගණනාවක්, නමුත් මෙම යෝජනා අනුව නෙමේ මේ රජය කටයුතු කරන්නේ, ඉතින් අපිට පේනවා මේක සර්ව පාක්ෂිකවත් අන්තර්කාලීන ආණ්ඩුවක් වත් නෙමෙයි තිබුණු පරණ රජය විදියටම තමයි හැදෙන්නේ මේකත්. අගමැතිතුමා කරන ප්‍රකාශ සමහර වෙලාවට පොදුජන පෙරමුණේ ඇමැතිවරු මන්ත්‍රීවරු වෙනස් විදියකට ප්‍රකාශ කරනවා. මෙයින් පෙනී යනවා අගමැතිතුමා අතරත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතරත් යම් යම් ගැටලු තිබෙන බව. ඉතින් මේ තත්ත්වයන් තුළ රට අවාසනාවන්ත තත්වයකට පත් වෙලා තියෙන්නෙ”