hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 29, ප.ව. 1:16



මේ ආණ්ඩුව ගන්නා සමහර තීන්දු තීරණ ගැන සෑහීමකට පත් නොවුණද ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර රටට හානියක් නොවන ආකාරයෙන් ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න හැකියාවක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉකුත්දා මුලටියන පැවැති පොදුජන පෙරමුණේ හක්මණ ආසන බල මණ්ඩල සමුළුව අමතමින් හෙතෙම මේ අදහස් පළ කළා.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළා.

“සමහර තීන්දු අප අනිවාර්යයෙන් ගත යුතු තීන්දු වෙනවා. සමහර ආයෝජකයන්ට රට විවෘත කළ යුතුයි. සමහර ආයතන එක්ක අපි ඉතාමත් විවෘත මනසකින් වැඩ කළ යුතුයි. ඒ වගේම රටේ යම් කිසි ආයතනයක් පාඩු ලබනවා නම් එම ආයතනය ලාභ ලබන තැනට පරිවර්තනය කරන තැනට වැඩපිළිවෙළක් අප  ක්‍රියාත්මක කළ යුතුයි. මේ සියලු කාරණා ක්‍රියාත්මක කිරීමේදී අපේ රටට ඔබින අපේ රටට ගැළපෙන අපේ රටේ ජනතාවට ගැළපෙන මොඩලයක් අනුගමනය කළ යුතුයි. එසේ නොවනවා නම් ජනතාව හිතවාදී මොඩලයක් අනුගමනය කිරීම සඳහා සෑම විටම අපේ පක්ෂය අවශ්‍ය කටයුතු කරනවා.

අපේ රට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් සිරිසේන ජනාධිපතිවරයාට භාර දෙන විට සියයට 6.8ක ආර්ථික වර්ධන වේගයක් තිබුණු රට නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතට මේ රට පත් වන විට සියයට 3ට වඩා අඩු ප්‍රතිශතයකට අඩු කරල මේ රට නැවතත් භාර දුන්නේ. සමහර උදවිය කියනවා 2020 න් පසුව තමයි මේ රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණේ කියලා. නමුත් වැඩිපුරම මේ රටට I.S.P ණය අරන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙන් කියලා කියනවා. මම නොවෙයි කියන්නේ, හිටපු අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා එසේ කියන්නේ.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය කරන ගමන් රට සංවර්ධනය කරන්න ගනිපු ණය වගේ හතර ගුණයක් යහපාලන ආණ්ඩුව වසර පහකට පමණ ගත් බව කිසි කෙනකුට හැංගිය යුතු කාරණයක් නොවෙයි. අරගලය කියන්නේ තුන්වැනි පාර්ශ්වයකින් මෙහෙයවූ වැඩපිළිවෙළක්. හැබැයි අරගලයට අවංකවම ආපු පිරිසක් ඉන්නවා. සද්භාවයෙන් අපු පිරිසකුත් ඉන්නවා. ඒ සියලු දෙනා අතරේ පාර්ශ්වයකින් මෙහෙයවූ පිරිසක් ඉන්නවා. අවසානයේ සමස්ත අරගලයට ආපු බොහෝ දෙනෙක් සමහර උදවියගේ ඉත්තො බවට පත් වෙලා හිටියා. අරගලයෙන් වුණේ මේ රටේ ආර්ථිකය තිබුණට වඩා තවත් වැඩි ප්‍රතිශතයකින් පහළට ඇද වැටීම පමණක් බව මා කියනවා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. දැන් නැවතත් ටිකෙන් ටික හිස ඔසවමින් තිබෙනවා. ඒ නිසා මා කියනවා අරගලය කරපු අය අපේ රට අපේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් පමණක්  සිදු කළා.”