hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 07, ප.ව. 4:27



ශ්‍රී ලංකීය වෘත්තීය සමිති ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු පොහොට්ටුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසකගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද නව සන්ධානයේ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය නිල වශයෙන් ලියාපදිංචි කිරීමේ අවස්ථාව සිකුරාදා (05) පෙරවරුවේ එහි ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේදී සිදු වූහ.

මෙහි විශේෂත්වයක් වන්නේ මෙතෙක් කල් වෘත්තීය සමිති ව්‍යාපාර හරහා පක්ෂ අරමුදල් එකතු කිරීම සම්පූර්ණයෙන් නතර කර එම සාමාජික මුදල් අදාළ වෘත්තිය සමිතිවල ප්‍රයෝජනය සදහාම ලබා දීමයි. 

වෘත්තීය සමිති 63 ක් අද වන විට මෙහි සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

මේ අතර, දීර්ඝ කාලයක් මෙම වැඩපිලිවෙල සාර්ථක කර ගැනීම සදහා නව සන්ධානයේ මෙහෙයුම් නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨ මැති ඇමතිවරුන් සමග විශේෂ සාකච්ඡා පැවැත්වුහ.එහි ප්‍රතිපලයක් ලෙස මෙම වෘත්තීය සමිති ව්‍යවස්ථාව සකසා එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවිය.මෙම වෘත්තීය සමිති කේන්ද්‍රයේ සභාපති ලෙස අසංක ශ්‍රීනාත් මහතා කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස නීතිඥ නලින් සමරකෝන් මහතා කටයුතු කරයි. ජාතික සංවිධායක ලෙස තුශාර සංජීව මහතා සහ භාණ්ඩාගාරික ලෙස රත්නා ගමගේ මහත්මිය පත්ව තිබේ.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තිය සමිති කේන්ද්‍රයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතා:

“ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩනැගෙන වෘත්තීය සමිති ව්‍යාපාරයක් තමයි අද මේ විදිහට අපි ලියාපදිංචියට සූදානම් වෙන්නෙ. කිසිදු දේශපාලන ව්‍යාපාරයකට යට නොවූ, ගැති නොවූ ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනැගෙන පලමු අවස්ථාවයි මේ. අපේ රටේ  මේ මොහොත වනතෙක් සිදු වුනේ කම්කරු සහෝදරයාගෙ ප්‍රශ්න වෙනුවට දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට දමමින් කටයුතු කල වෘත්තීය සමිති ව්‍යාපාරයක් පවත්වා ගැනීම. ඒ ඇතුලෙ ආයතනයක සභාපතිවරයාගේ සිට පහල සේවකයා දක්වා  තමන්ගෙ දේශපාලනයට අකමැති නම් එලවා දමන වෘත්තීය සමිති ක්‍රියාවලියක් තමයි අපිට දකින්න ලැබෙන්නෙ. වෘත්තීය සමිති ව්‍යාපාර දේශපාලන අතකොලු වෙද්දි සිදුවෙන්නෙ ආයතන බංකොලොත් වෙන එක. සේවකයො පීඩාවට පත්වෙන එක. අසරණ වෙන එක. රට එක තැන පල් වෙන එක.
නමුත් අපි රටට අලුත් මාවතක් අද නිර්මාණය කර දෙනවා. අපි අලුත් වැඩක් කරන ව්‍යාපාරයක් . අපි සාමාජික මුදල් අය කරන්නෙ නෑ. මේ වෙනකල් සිදු වුනේ  අපේ රටේ දේශපාලනය කරන අය වෘත්තීය සමිති වල සාමාජික මුදල් අරගෙන මැයි 01 දාට මහ හයියෙන් මයික් පැලෙන්න කතා  කරන එක. ආපහු මේ රටේ ජනතාව වගේම අපිත් රැවටෙන්නෙ නෑ.මේ රටේ වෘත්තීය සමිති නායකයන්ගෙන් අපි ඉල්ලනවා අපි පිරිසිදුයි. ස්වාධීනයි. ඔබ ඉන්නෙ දේශපාලන මඩ ගොහොරුවක. එතනින් ඉවත් වෙන්න දැන් කාලය හරි. එන්න අපි සමග එකතු වෙන්න.’’

මෙහිදී අදහස් දැක්වූ වෘත්තිය සමිති කේන්ද්‍රයේ ලේකම් නීතිඥ නලීන් සමරකෝන් මහතා:

කම්කරු ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එකතුවන දවසක්.  මේ රටේ වෘත්තීය සමිති 63 ක් අද ස්වාධීන වෘත්තීය සමිති විදිහට අද ලියාපදිංචි වෙනවා. දේශපාලන ව්‍යාපාරයට කඩේ යන්නෙ නෑ. සාමාජිකයින්ගෙන් මුදල් අය නොකර ආයතන වෙනුවෙන් රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් විශ්වාස‍යෙන් ආදරයෙන් වැඩකරන ස්වාධීන වැඩපිලිවෙලක් මේ ආරම්භ වෙන්නෙ. ආණ්ඩුව IMF එකට ගිහින් දැන් ඒගොල්ලො ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. කම්කරුවා වෙනුවෙන්. අපි අවංකව කටයුතු කල යුතුයි .අද සිට මේ ව්‍යාපාරය තවදුරත් පුලුල් වේවි.   මේ රටේ ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් උදෙසා සියලු දෙනාටම ජය වේවා.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තිය සමිති කේන්ද්‍රයේ ජාතික සංවිධායක තුෂාර සංජීව පෙරේරා මහතා:

මෙතෙක් ලංකා ඉතිහාසයේ තිබුනේ මුට්ටි කාසි එකතු කරන  වෘත්තීය ව්‍යාපාරයක්. අපි අද ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වෙනවා. මේ වෙනකොට ලංකාවේ ප්‍රධාන රාජ්‍යය ආයතනවල වෘත්තීය සමිති 63 ක් අපි සමග ඉන්නවා. අපි මෙතනට එද්දි තව 05 ක් අපිට කතා කරා. මේ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුලෙ නීතිඥ සංගමයක් තිබෙනවා. අපිත් එක්ක අත්වැල් බැදගන්න නොගන්න සියලු දෙනාම වෙනුවෙන් නොමිලේ නීතිඥ සහාය ලබා දෙන්න මේ නීතිඥ සංගමය සූදානම්. පොදුජන පෙරමුනේ වෘත්තීය සමිති 48 ක්, එක්සත් ජාතික පක්ෂයේ 06 ක්, සමගි ජන බල වේගයේ 01 ක් සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති ගනනාවක් අපිත් සමග එක් වුනා. අපි කම්කරු අයිතීන්  රැක දෙන ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් . මේ රටේ වෘත්තීය සමිත්  ව්‍යාපාරය ට ජය වේවා.