hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 06, පෙ.ව. 11:36



රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ(05) පැවැති සාකච්ඡාවකදි යෝජනා වී තිබෙනවා.

ඒ පිළිබඳ ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් සමඟි ජනබලවේගයේ සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ බහුතරය නිර්මාණය කිරීමට සාකච්ඡා කළ බවයි.

එහි මූළික අරමුණ වූයේ වර්තමානයේ රට තුල පවතින වාතාවරණය පිළිබඳ සතුටු විය නොහැකි බැවින් සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති කර ගනිමින් ජාතික වැඩපිළිවෙලක් සකස් කර ගැනීම බව ඔහු පෙන්වා දුන්නා.

අලුත් ආණ්ඩුව අවුරුද්දයි

ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මූලික එකගතාවක් ඇති වී තිබෙනවා.

වසරක් හෝ වසර එක හමාරක කාලයක් එම සර්ව පාක්ෂික ආණ්ඩුව යටතේ ක්‍රියාකර ඉන්පසු මැතිවරණයකට යාමට ද එහිදී යෝජනා වී තිබෙනවා.

එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 120ත් 140ත් අතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබා ගැනීමට හැකි වනු ඇති බවට ඔවුන්ගේ අදහස වී ඇත්තේ. 

අධ්‍යාපන, සෞඛ්‍ය, බලශක්ති, ප්‍රවාහන, කෘෂිකර්ම යන ක්ෂේත්‍ර 05 සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල කුමක්ද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ගෝඨාගේ තීරණය මෛත්‍රීට කියයි

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන බව තමාට දැනුම් දුන් බවය.

මෙහිදී රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා.

අර්බුදය පිළිබඳ සියලු දෙනාම දැනුවත්භාවයකින් සිටින බවත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ යුතු බවත් ඊට ප්‍රතිචාර දක්වමින් සියලු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වාසය ගැන කතාවක්

ජාත්‍යන්තර විශ්වාසය සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙනවා.

සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ රට ගොඩනැගීමට නම් දෙමළ ඩයස්පෝරාව පවා පිළිගත හැකි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවත්වා තිබුණා.

එම සාකච්ඡාවට දේශපාලන පක්ෂවල නියෝජිතයින් 39 දෙනෙකුට ආරාධනා කර ඇති අතර 37 දෙනෙකු පැමිණ සිටි බව වාර්තා වනවා. නමුත් එම සාකච්ඡාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී නෑ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම එම පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එම සාකච්ඡාවට සහභාගී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: