hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 09, පෙ.ව. 9:47



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (09) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ පාර්ශව මේ වනවිටත් යෝජනා කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ සියලු දෙනා ඉවත් වීමට පසුගිය කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බවයි.

ඉවත් වීමෙන් පසු යළිත් සාකච්ඡා කිරීමෙන් පසු එම කැබිනට් මණ්ඩලයම නැවත පත් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කරූ අගමැති පුටුවට

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී ඒ වෙනුවට හිටපු කථානායක කරූ ජයසුරිය මහතා පත් කර අග්‍රමාත්‍ය ධුරය ලබාදිය යුතු බවටද එක් පාර්ශවයක් යෝජනා කර තිබෙනවා.

තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බවයි.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නම ද නව අග්‍රාමාත්‍ය ධුරය සදහා යෝජනා වී තිබෙනවා. ඊට අමතරව සුසිල් ප්‍රේමජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපාගේද නම් තවත් පාර්ශව කිහිපයක් අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි පැවසුවා.

කැබිනට්ටුව 20ට අඩුයි

මේ අතර අන්තර්වාර ආණ්ඩුව සදහා විසි දෙනෙකුට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවටද යෝජනා වී තිබෙනවා.

එහෙත් ඇතැම් පාර්ශව යෝජනා කර ඇත්තේ වැදගත් වනුයේ පත් කරන අමාත්‍යවරුන් ගණන නොව විද්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ විෂයන් වෙන්කර ඊට අමාත්‍යවරුන් පත් කළ යුතු බවයි.

මේ වනවිට පත් කළ යුතු අමාත්‍යවරුන් සම්බන්ධයෙන්ද සාකච්ඡා වෙමින් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අද දිනයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට සූදානම් වනවා.

ඒ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටීමටයි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමේ සූදානමක්ද තිබෙන බව වාර්තා වනවා.

ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා එලෙස අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: