hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 09, ප.ව. 12:35



විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට අදාල දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද(09) පස්වරුවේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර හිටපු විදුලිබල අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සභාගර්භයෙන් පිටව ගොස් තිබුණා.

පසුව ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් සම්මත වුණා. ඒ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද  120ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවීමෙන්.

13ක් ඡන්දෙන් වැළකෙයි

13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

එම අවස්ථාවේදී ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මහ ලේකම්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සභා ගර්භයේ රැදී නොසිටි අතර නමුත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් කෙටුම්පතට පක්ෂය ඡන්දය ලබා දුන්නා.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ස්වාධීන පිලේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද ඡන්දය භාවිතා කර තිබුණේ නෑ.

සංශෝධන නැතිව සම්මතයි

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නා.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විපක්ෂය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඊට පක්ෂව ඡන්ද 120ක්ද විපක්ෂව ඡන්ද 36 ක්ද හිමිවුණා. මේ අනුව දෙවන වර කියවීම වැඩි ඡන්ද 84 කින් සම්මත වුණා.

අනතුරුව කාරක සභා අවස්ථාවේදී 4 වැනි වගන්තියට බලශක්ති අමාත්‍යවරයා ගෙනා සංශෝධනයට විපක්ෂය විරුද්ධත්වය පළ කළ බැවින් ආණ්ඩු පක්ෂයේ සංශෝධනය ඉල්ලා අස්කරගැනීම සිදුවුණා.

හර්ෂගේ යෝජනාව ඇමති විසි කරයි

ඒ අනුව විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා 4 වැනි වගන්තියට සංශෝධනයක් ඉදිරිපත් කළ අතර එම සංශෝධනය බලශක්ති අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමග විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා.

එහිදී විපක්ෂයේ සංශෝධනය වැඩි ඡන්ද 64 කින් ප්‍රතික්ෂේප වූ අතර එහිදී ඊට පක්ෂව ඡන්ද 51 ක්ද විපක්ෂව ඡන්ද 115 ක්ද හිමි වුණා.  

ඉන්පසු සම්පූර්ණ 4 වැනි වගන්තියට ඡන්ද විමසීමක් විපක්ෂය ඉල්ලා සිටි අතර එහිදී ඊට පක්ෂව ඡන්ද 116 ක්ද විරුද්ධව ඡන්ද 46 ක් ද ලෙස වැඩි ඡන්ද 70 කින් සම්මත වුණා.

මේ අනුව විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.  

විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා විසින් 2022 මැයි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත මගින් යම් තැනැත්තකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා දීම මෙමගින් සිදුවනවා.

මේ අනුව යම් තැනැත්තෙකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා සහ අභිබවා විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති සීමා ඉවත් කිරීම සහ උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම මෙම සංශෝධනය මගින් සිදුවනු ඇති. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: