hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 13, ප.ව. 10:21



ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයින් තීරණයකට එළැඹී තිබෙන බව වාර්තා වනවා.

ඒ පාර්ලිමේන්තු සංකීරණයේ අද (13) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ අස්වීමේ ලිපිය බාර දීමෙන් පසු  කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් විය යුතු බවද පක්ෂ නායකයන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වා ඇති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසුව  පාර්ලිමේන්තුව කැඳවා අභිනව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයාද සහභාගි වී තිබෙනවා.

අරගලකරුවන් විවිධ ස්ථානවලට ඇතුළු වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

අරගලකරුවන් පාලනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහිදී විමසා ඇති අතර ඒ සඳහා කිසි විටෙකත් ජීව උණ්ඩ යොදා නොගන්නා ලෙස මෙහිදී පක්ෂ නායකයන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි  වාර්තා වුණා.

මෙම රැස්වීමේදී විශේෂිත තීන්දු කිසිවක් ගෙන නොතිබූ අතර පවතින තත්වය  සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (14) දිනයේ නැවත රැස්වීමටද එහිදී තීරණය කර තිබෙනවා.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගී නොවූ බවයි.

උද්ගතව ඇති තත්ත්වයට විසඳුම අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම බව සියලු දෙනා ප්‍රකාශ කළ බව ඔහු පෙන්වා දුන්නා.

”ත්‍රිවිද හමුදාපතිවරු පක්ෂ නායකයින්ගෙන් අවසර ඉල්ලුවා යම් හෙයකින් පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල වුණොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අපි කිව්වා. ඒ අවසරය අපිට දෙන්න බෑ කියලා. ඒ වගකීම තියෙන්නේ ආණ්ඩුවට.. අපේ දරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අපිට අවසර දෙන්න බැහැ කියලා අපි පැහැදිලිව කිව්වා” යැයි කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කළා.

කතානායකවරයා, අතුරලියේ රතන හිමි, එම්.ඒ අතාවුල්ලා , රවුෆ් හකීම් ,වාසුදේව නානායක්කාර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානාන්දා, රංජිත් මද්දුම බණ්ඩාර, ටිරාන් අලස්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගීවී ඇති අතර ඊට අමතරව පොලිස්පතිවරයා සහ ත්‍රිවිද හමුදාපතිවරුන් ද රැස්වීම සඳහා සහභාගී වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: