hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 15, ප.ව. 4:39



ප්‍රබල ව්‍යාපාරිකයෝ, දේශපාලන හිතවතුන් ඇතුලු ඉතා සුළු කණ්ඩායමකගේ රුපියල් ලක්ෂ කෝටියකට අධික බදු අය කිරීම පැහැර ඇති රජයට බලෙන් ටින් අංක ලබාදී සාමාන්‍ය ජනතාවගෙන් බදු අය කිරීමට කිසිදු හෝ අයිතියක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක මහතා පවසයි.                   

එක්සත් ජනරජ පෙරමුණේ සෙංකඩගල ආසන ජනරජ සභාව අද (15) මහනුවර පැවති අවස්ථාවේ දී ඒ මහතා ඉහත අදහස් පළ කළා.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා.

“මේ උදාවූ 2024 වසර කියන්නේ ජනතාව ඉතාමත්  ඉහළ ආර්ථික පීඩනයකට ලක්වෙන වසරක් බව කියන්නම වෙනවා. රජය, ආදායම් බදු දෙපාර්තමේන්තුව වයස අවුරුදු 18 ට වැඩි සාමාන්‍ය ජනතාවට පවා ටින් නොම්බරයක් ගන්න කියලා බල කරනවා. ගත්තේ නැත්නම් රුපියල් පනස් දහසක දඩයක් ගහනවා කියලා ජනතාව භය කරනවා. රජය මේ මගින් බලාපොරොත්තු වෙන්නේ රුපියල් ලක්ෂ හැටදහසක ආදායමක් ලබාගන්නයි. නමුත් අපි කියන්නේ මේ බර ආර්ථික පීඩනය දරා ගත නොහැකි ජනතාව මත පටවන්නේ නැතිව ඒ මුදල ලබා ගන්න පහසු ක්‍රමයක් තියෙනවා කියලයි.ජනාධිපතිතුමා යටතේ තියෙන රාජ්‍ය ඇමැතිවරු දෙන්නෙක් සිටින මුදල් අමාත්‍යාංශයට අයත් දේශීය ආදායම් හා සුරා බදු මෙන්ම රේගු දෙපාර්තමේන්තු වලට මේ වන විට ඉතා සුළු පිරිසක් රුපියල් කෝටි ලක්ෂයකට අධික මුදලක් ගෙවීම් පැහැර හැර පොළු කියලා තියෙනවා. සුරා බදු දෙපාර්තමේන්තුවට විතරක් පුද්ගලයන් පස් දෙනෙක් රුපියල් කෝටි 660 ක් බදු මුදල් ගෙවීම් පැහැර හැර තිබෙනවා.

ඉතින් මේවා අය කරගන්න කිසිදු ක්‍රමවේදයක් නොමැති රජයට අයිතියක් තියෙනවද බලෙන් ටින් අංක දීලා ජනතාවගෙන් බදු අය කරන්න. අපි කියන්නේ ඉදිරි මාස තුන ඇතුළත මේ රුපියල් ලක්ෂ කෝටියකට අධික බදු මුදල් ඒ බදු හොරුන්ගෙන් අය කරන්න ක්‍රමයක් හදන්න කියලයි. මේ අය ගෙවීම් පැහැර හරිනවා නම් එයාලගෙ බැංකු ගිණුම් වලින් හෝ දේපළ රාජසන්තක කරලා හරි බදු මුදල් අය කරගන්න නීති තියෙනවා. ඇයි එහෙනම් කරන්නෙ නැත්තේ. කවුද මේවා වළක්වගෙන ඉන්නේ. සුරා බදු දෙපාර්තමේන්තුවට මේ තරම් දැවැන්ත මුදලක් බදු ගෙවීම පැහැර හැර තිබුණත් සුරා බදු දෙපාර්තමේන්තුව අදාළ නිලධාරීන්ට උපදෙස් දීල තියෙනවා බදු ගෙව්වත් නොගෙව්වත් ප්‍රශ්නයක් නෑ ජනවාරි පළමුවැනිදා සිට 6600 කට අධික සුරා බදු බලපත්‍ර අලුත් කරන්න කියලා. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත. රටේ මිනිස්සුන්ට වාහන යක ආදායම් බලපත්‍රය ගන්නත්, බැංකුවක ගිණුමක්  විවෘත කරන්නත් ටින් අංක ඕනේ.

නමුත් මේ රුපියල් ලක්ෂ කෝටියකට අධික බදු ගෙවීම් පැහැර හැරපු උන්ට පවා කිසිදු ප්‍රශ්නයක් නැතුව නැවතත් බලපත්‍ර දෙනවා.අද සමාජ මාධ්‍ය මර්ධනය කරන්න පොලිස් ඇමතිට තියෙන වුවමනාව, ආර්ථික පීඩනය දරා ගත නොහැකිව  උද්ඝෝෂණය කරන අහිංසක මිනිස්සු මර්දනය කරන්න ප්‍රති ත්‍රස්ත පනත ගේන්න අධිකරණ ඇමැතිව තියෙන උනන්දුව මේ පැහැර හැර තියෙන බදු මුදල් අය කරගන්න මුදල් ඇමතිට තියෙනවා නම් රටේ මහජනතාව මත මේ තරම් බදු මුදලක් පටවන්න අවශ්‍ය වෙන්නේම නෑ.

මේ රට මේ තරම් අර්බුදයකට පත්කළේ කවුද කියලා මේ රටේ නීතිය පිළිබඳ ඉහළම  ආයතනය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නා මේ රට බංකොලොත් කලේ කවුද කියලා මහින්ද, බැසිල්, ගෝඨාභය තුන් කට්ටුව වගේම ජයසුන්දර, කබ්‍රාල් ඇතුළු නිලධාරීන් පිරිසකගේ නමත් එතන තියෙනවා. මේ රටේ දේශපාලඥයෝ වගේම දූෂිත රාජ්‍ය නිලධාරීන් රට පත්ව තිබෙන තත්ත්වයට එක එල්ලේම වග කිව යුතුයි. රටේ අහිංසක ජනතාව මතම බර පටවා තලා පෙලා කටයුතු කරනවා වෙනුවට මේ විනාශයට වගකිවයුතු පුද්ගලයන්ගේ දෙස් විදෙස් වත්කම් රජයට පවරා ගෙන ඒ මුදල් රටේ සංවර්ධනයට යොදවන්න වැඩ පිළිවෙලක් ගේන්න බැරි ඇයි කියලා අපි අහනවා.