hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 10:09



රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යොමු කළ ලිපියෙන් වත්මන් අර්බුධ විසදීම සදහා සාර්ථක විසදුම් සොයා ගැනීමට නොහැකි වනු ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සඳහන් කරයි.

ආර්ථික අර්බුධය විසදීම වෙනුවෙන් තම පක්ෂය පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා නිවැරදි දැක්මකින් ක්‍රියා කර නොමැති බවට මෙම ලිපිය මගින් තහවුරු වන්නේ යැයි විමල් විරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එම නිසා අර්බුධය විසදීම සදහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා අවම පොදු වැඩපිළිවෙලක් සහ එය ක්‍රියාත්මක කිරීමට මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.

එසේ නොමැතිව හුදු ඔළු ගෙඩි මාරුවක් මඟින් මහජන විශ්වාසය තහවුරු කළ නොහැකි යැයිද ජනාධිපතිවරයා විසින් අවම ජාතික වගකීම ඉටු කරන තෙක් ව්‍යවස්ථා සංශෝධන සඳහා ඒකපාර්ශවීය යෝජනා තම පක්ෂය විසින් ඉදිරිපත් නොකරන බවද විමල් විරවංශ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා විසින් මෙම කරුණු සඳහන් කර තිබෙනවා.

මේ අතර රට මුහුණ පා සිටින ආර්ථික හා දේශපාලන අර්බූදයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහා සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දක්වමින් ජනාධිපතිවරයා විසින් සියලු ම මන්ත්‍රීවරුන්ට එවන ලද ලිපියට, පිළිතුරු ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපතිවරයාට යවා තිබෙනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ කඩිනම් ප්‍රතිචාරය ඉල්ලා සිටි එම ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු යැවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ ලිපිය මගින්, අර්බූදය සම්බන්ධයෙන් අනුගමන කළ යුතු යැයි ඔවුන් විශ්වාස කරන යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.