hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 24, ප.ව. 4:23



21 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව යළි අර්බුදයකට මුහුණ පා සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඊට හේතු වී ඇත්තේ එම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අකමැත්ත ප්‍රකාශ කිරීමත්, මේ මොහොතේ එය ගෙන ඒමට අවශ්‍ය නැති බවත් පැවසීම නිසායි.

නමුත් ආණ්ඩුවේ ඇමතිධූර ගත් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස ඊට විරෝධය පළ කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන 21 වන ව්‍යවස්ථා සංශෝධනය වහා ගෙන ආ යුතු බවයි.

හරීන්ගේ අනතුරු ඇඟවීම

මේ හේතුවෙන් ඊයේ (23) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එය ඉදිරි පත් නොකිරීමට තීරණය කර තිබුණද පසුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළහොත් පළමු කැබිනට් හමුවෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වන බව ඩම් සහ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණා.

රට නැවත වතාවක් ස්ථාවර භාවයට පත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් කිරීමට 21 වන සංශෝධනය රටට අත්‍යවශ්‍යම බැවින් ආණ්ඩුවේ පළමු කාරයය බවට එය පත් විය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

විසිඑක් වන සංශෝධනයට අමතරව විසි දෙවන සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු සිදුකරගෙන යන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීමටද සිදුවුණා.

අගමැතිගේ විශේෂ ප්‍රකාශය

ඒ අනුව ඊයේ (23) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳ කෙටුම්පතේ පිටපත් සියලු පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කරන බවයි.

එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි ඔහු සඳහන් කළේ.

ක්ෂ නාකයින් වෙත පිටපත් ලබා දුන් පසු සිකුරාදා (27) රැස්වී ඒ පිළිබඳව අදහස් ලබාගෙන සංශෝධන ද ඇතුළත් කර සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බව ද අගමැතිවරයා සඳහන් කළා.

අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු පෙන්වා දුන්නේ, අනතුරුව එය ගැසට් කර, අවශ්‍ය අයට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ද අවස්ථාව දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේ ම සහය ඇතිව ඉක්මනින් සම්මත කර ගන්නා බව යි.

සජිත්ගේ ප්‍රකාශය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ නීතිඥ සංගමයේ යෝජනා ඇතුළත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට,ඊනියා සටකපට විසි එකක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බවයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් දහනව වන සංශෝධනය වඩා ශක්තිමත් ලෙස ගෙන එමින් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සියල්ල සහතික කිරීම ආණ්ඩුව නොවළහා කළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබුණා.

එසේ නොමැතිව රැවටිලිකාර සටකපට විසි එක් වන සංශෝධනයක් ගෙන ඒමෙන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවන බවයි කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පෙන්වා දී තිබුණේ.

ආණ්ඩුව සිදුකරන ප්‍රෝඩාකාරී සහ රැවටිලිකාරී කටයුතු වහා නවතා දමා ජනතා අභිමතය මත කටයුතු කළ යුතුව ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳ යෝජනාව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: