hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 20, ප.ව. 6:31



අරගලය සිදු කළේ මානසික රෝගීන් බවත් ඔවුන් මේ වන විට සරසවි සිසුන් ඝාතනය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළා.

ඉදිරි  පළාත් පාලන මැතිවරණයට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් අද (20) අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“අරගලය කවුරුත් අනුමත කරන දෙයක් නෙමෙයි. මුලින් ආරම්භ කලේ සාමකාමී අරගලයක්. පසුව කුඩුකාරයින්ගේ ගණිකාවන්ගේ තැනක් බවට ගෝල්ෆේස් පිටිය පත් වුණා. ඒක අපි හැමෝම දන්නවා. දැන් බලන්න අරගලයට සම්බන්ධ වුණු අය විශ්ව විද්‍යාල දරුවන්ව මරණ හැටි. ඒ මොකද ඔවුන් මානසික රෝගීන්. පසුගිය කාලයේ ඒ අයයි අරගලයට සම්බන්ධ වුණේ. අරගලයට සම්බන්ධ වුණු වැදගත් අය අද ලැජ්ජ වෙනවා අරගලයට ගිය එක ගැන. රටේ අර්බුද තියෙනවා. ආර්ථික බංකොලොත්භාවය වසර 3ක් තුළ සිදු වුණ දෙයක් නෙමෙයි. මේ රටේ යුද්ධයක් තිබ්බා. ඊයේ ඔබ දකින්න ඇති  යුද්ධ කාලයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ පියා එල්.ටී.ටී.ඊ එකට සල්ලි සහ අවි ආයුධ දුන්නා කියලා පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. ඒවා ඉතිහාසයේ ඉදන් වෙච්ච දේවල්. ඒවා තමයි රටේ ආර්ථික අර්බුදයට හේතු.

දැන් අරගලවලට මිනිස්සු සම්බන්ධ වෙන්නේ නෑ. අරගලයේ සැබෑ ස්වභාවය දන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවට පස්සේ යුද්ධය ජයග්‍රහනය කළ රාජපක්ෂවරුන්ව තනතුරු වලට එන්න බැරිවෙන්න කරපු දෙයක් ඒක. එය 2015 දීත් කළා. එදා ඔවුන් ජයග්‍රහණය කළා. ඊට පස්සේ මිනිස්සු තේරුම් ගත්තා. නැවත රාජපක්ෂවරුන්ට බලය ලබා දුන්නා. ඊට පස්සේ අරගලය ආරම්භ කළා. අරගලයට මුදල් වියදම් කලේ මාස ගණනක් කන්න සල්ලි දුන්නේ කවුද? ඒවාට මුදල් වියදම් කළ අය ඉදිරිපත් වෙන්න ඕන.

අරගලයේදී ගැහුවා, මිනී මැරුවා, ගිනි තිබ්බා. මේක ඉතිහාසයේදීත් සිදුවුණා. 88, 89 කාලයේ මැතිවරණ වලදි ඡන්දය දුන්නොත් අත කැපුවා, මිනිස්සුන්ව මැරුවා. එහෙම ඉතිහාසයක් මේ රටේ දේශපාලන පක්ෂවලට තියෙනවා. අරගලය කරපු අය පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිනි තිබ්බේ ඇයි? ඒ අයට මරණ භයක් ඇති කරලා ඒ තුළින් තමයි ඔවුන් ගමට ගිහින් දේශපාලනය ක්‍රියාවලිය සිදු කලේ. හැබැයි ජනතාව අද ඒකට ඉඩ දෙන්නේ නැහැ.”