hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 18, පෙ.ව. 10:08



ඊනියා අරගල සිදු කර රට අස්ථාවර කිරීමට යළි ඉඩ නොදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරනවා.

ජනතාවට ආණ්ඩු පෙරළීමට අයිතියක් ඇති නමුත් රාජ්‍ය පෙරළීමට කිසිවකුට අයිතියක් නැති බවත් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් හෙතෙම පවසනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා,

අද කැබිනට් ඇමැතිවරයෙක් ලෙස මා කටයුතු කරනවා. මම කිසි දිනක මගේ යටතේ තිබෙන ආයතනවලට යන්නේ නෑ. ගිහින් බලපෑම් කරලා කටයුතු කරන්නේ නෑ. මම හැම විටම උත්සාහ කරන්නේ ඒ ආයතන ස්වාධීනව යන්න ඕනි කියන ස්ථාවරයේයි. අපි සෑම සඳුදා දිනකම මහජන දිනය කරනවා. මහජන දිනයේදී පැමිණෙන පැමිණිලි ගැන අදාළ නිලධාරීන්ව ළඟින් තියාගෙන එම ගැටලු නිරාකරණය කරනවා. නොවිය යුතු යම් කරුණු කාරණා අද රාජ්‍ය ආයතන තුළ සිදුවනවා. ඒවා පුළුවන් තරම් අවම කර ගන්න ඕනේ. තව කෙනකුට බෝලේ පාස් කරලා හරියන්නේ නෑ. වාහනයක් දෙනවා නම්, වැටුප් ගන්නවා නම්, දීමනා ලබා ගන්නවා නම් ඒ වියදම් කරන මුදල් ජනතා මුදල්. ඒ නිසා ණයක් නොවී ඒ ලැබෙන මුදලට වැඩ කරන්න ඕනේ. ආයතනයක හොඳට වැඩ කරන මනුස්සයා හැමදාම බැනුම් අහනවා. ඒ සෑම දේකටම මුහුණ දෙමින් තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ.

අලුත් විධියට හිතලා අලුත් විධියට වැඩ කරන්න පුළුවන් නම් අපිට ගමනක් යන්න පුළුවන්. අද රටේ පවතින තත්ත්වය මට වඩා රාජ්‍ය නිලධාරීන් විධියට ඔබ දන්නවා. සාම්ප්‍රදායික ආයතනයක් විධියට ඉදිරියට ගමන් නොකර අලුත් විධියකට හිතලා ආදායම් උත්පාදනය කරන්න ඕනි. ඒ යන ගමනේදී පළමුවැනි කාරණාව වන්නේ ආයතනයේ සිටින සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීමයි. දැන් අපිට තිබෙන ලොකුම අභියෝගය එයයි. ආයතනයට පැමිණි පසු එහි පැමිණෙන ජනතාවට සලකන ආකාරය ගැන අද අපට විවිධ පැමිණිලි එනවා. පිටරට ආයෝජකයන් එනකොට අපි පාවාඩ දාලා පිළිගන්නවා. නමුත් අපේ රටේ ආයෝජකයෙක් දෙයක් කරන්න යද්දී එයට උදවු කරන්නේ නෑ කියන චෝදනාවක් තියෙනවා.

මම මේ අමාත්‍යාංශය භාර ගත් දා සිට මං ගාවට එන්නේ නැතිබැරි මිනිස්සු විතරයි. යමක්කමක් තියෙන මිනිස්සු නිලධාරීන් හරහා කොහොම හරි ඔවුන්ගේ වැඩ කරගන්නවා. ආයතනයේ හොඳ ආවත් නරක ආවත් භාර ගන්න වෙන්නේ ආයතනයේ සභාපතිතුමාට මිස මට නොවෙයි. වැඩ කරන්න පුළුවන් වාතාරණයක් සාදා ගැනීම ආයතනයේ සභාපතිවරයාගේ වගකීමයි. වෙනස් කරන්න ඕනි තැන් වෙනස් කරන්න අවශ්‍යයි. මගේම පාක්ෂිකයෙක් වුණාට මට කමක් නෑ. ඔළුව නරක් කර ගත් අරගලකාරයන් හිටියා රාජ්‍ය ආයතනවලත්. ඒ වගේ දේවල්වලට ඉඩ දෙන්න එපා. නැවත අරගලකරුවන්ට කිසිම අවස්ථාවක් දෙන්නේ නෑ. අරගලකරුවන් රට හදන්න එනවා. නමුත් ඔවුන් ළමයෙක් ලැබෙන්නේ නැතිව පරිස්සම් වෙන්න දන්නේ නෑ. කූඩාරම් ඇතුළේ රිංගලා හිටියා. අද ඔවුන්ට ළමයි හම්බවෙනවා. කෝච්චිවල දාලා යනවා.

මිනිස්සුන්ගේ දේශපාලන මතයට ගරු කරන්න පුළුවන්. එහෙත් කාලකණ්ණින්ට රටක් විනාශ කරන්න දෙන්න බෑ. ආණ්ඩු පෙරළන්න, වට්ටන්න පුළුවන්. ඒක මිනිස්සුන්ට තිබෙන අයිතියක්. නමුත් රාජ්‍ය වට්ටන්න, රාජ්‍ය පෙරළන්න හදනවා කියන්නේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. ආයතනයක් ස්වේච්ඡාවෙන් නඟා සිටුවන්නේ කොහොමද යන්න ආයතනයේ මිනිස්සුන්ගේ වගකීමක්. අපි අවුරුදු දෙක තුනකට එනවා, අපි ආයේ වෙනස් වෙනවා, තව කෙනෙක් මෙතැනට එනවා. ආයතනය රැක ගැනීමේ වගකීම තිබෙන්නේ ආයතනයේ සේවකයන්ටයි. රාමුව ඇතුළේ කොටු නොවී වැරැද්දක් නොකර ජනතාවට උදවු කරන්න. සත්භාවයෙන් උදවු කරලා මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න. එතකොට මිනිස්සුන්ට මං ගාවට එන්න ඕනි වෙන්නේ නෑ.”