hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 16, පෙ.ව. 9:59



ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම දැඩි සටනක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී කිසියම් අපේක්ෂකයෙකු සියයට පනහකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් දෙවන මානාපය තීරණාත්මක වන බවයි ජනාධිපති නීතීඥ යු ආර් ද සිල්වා මහතා පවසන්නේ.

මේ අතර ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ සටනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ(15) නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. 

තමන් සියලු දෙනාගේ සහය සහ එකඟතාව ලබා ගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. 

ජනපති සටනට නම් 6ක්

මේ අතර පුරප්පාඩු ජනාධිපතිධූරයට ඉදිරිපත් වීමට අපේක්ෂකයින් හතර දෙනෙකුගේ නම් ඉදිරිපත් වන බවත් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අනුර කුමාර දිසානායක සහ විවිධ අයගේ ඉල්ලීම මත චම්පික රණවක මහතාත් ඉදිරිපත් වන බවට සූදානමක් පවතින බවත් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ සඳහා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති අපේක්ෂකයින් ජයග්‍රහණය කරවීම සඳහා එම අපේක්ෂකයින්ට සහය දක්වන පාර්ශව මේ වන විට මෙහෙයුම් අරඹා ඇතැයිද වාර්තා වනවා.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට කණ්ඩායම් 04ක් උත්සහ දරමින් සිටින බවටද වාර්තා පල වනවා.

පොහොට්ටු බහුතරය රනිල්ට

ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හැරුණු කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින මන්ත්‍රීවරුන් 128 දෙනෙකු අතරින් 100කට ආසන්න පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට සූදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

එහිදී නිවාස ගිනි තැබීමට ලක්වූ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායමේ 12 දෙනෙකුගේ සහයද රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇති බව එම වාර්තා අනාවරණ කරනවා.

ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මන්ත්‍රීවරුන් 136 දෙනෙකෙුගේ පමණ සහය ලැබෙනු ඇති බවටයි එම පාර්ශවය විශ්වාසය පළ කරන්නේ.

සජිත් – ඩලස් එකඟතාවයකට සූදානම්

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දක්වන ස්වාධීන පක්ෂ 10 ඇතුළු කණ්ඩායම අතර පොදු එකඟතාවක් ඇති වුවහොත් එම තත්ත්වය වෙනස් විය හැකි බවටද එම ආරංචි මාර්ග පැවසුවා. 

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට එකඟ වී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂකත්කවය සඳහා ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 56 දෙනෙකු පමණ ඔහුට සහය දැක්වීමට සූදානමින් සිටින බවට වාර්තා වනවා. 

එවැනි තත්ත්වයක් යටතේ සමඟි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය පල කළ හොත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි වනු ඇති.

ඒ අනුව, ඉදිරි දින කිහිපය තුල ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් සිදු විය හැකි බව එම ආරංචි මාර්ග සදහන් කරනවා.  

ඩලස්ට වැඩි කැමැත්තක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 56 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සංධානයේ සහය ලබා ගැනීමට හැකි නම් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී වැඩි වාසියක් ලබාගැනීමට අවස්ථාවක් පවතින බවයි වාර්තා වන්නේ. 

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: