hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 25, ප.ව. 8:21



එරෝෆ්ලෝට් ගුවන් යානය රදවා ගැනීම හා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කර රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම වැලැක්වීම සදහා දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද අනාවරණය කළා.

ඔවුන් පවසන්නේ එම කුමන්ත්‍රණය පිටුපස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද සිටින බවයි.

පෙරටුවාදී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“නඩුව පවරපු වෙලාවේ ඉදලා ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ නඩුව පවරන්නේ 31 වනදා. 31වෙනිදා නඩුව පවරනවා 2 වෙනිදා තමයි එරෝෆ්ලෝට් ගුවන් යානය ලංකාවට එන්නේ. එතකොට මේ නඩුව භාර ගන්නවා. ලංකාවට ආවේ නැති ගුවන් යානයක් සම්බන්ධයෙන් නඩුවක් භාර ගන්න බලයක් තියෙනවද අධිකරණයට? සමාගම් දෙකක් අතර ගැටුමක් සමතකරණ, බේරුම්කරණ ක්‍රියාවලියකට මැදිහත් වෙන්න ලංකාවේ අධිකරණයට බලයක් තියෙනවද? අපි දන්න විස්තර වලට අනුව නම් එවැනි ජාත්‍යන්තර බේරුම්කරණ බලයක් කොළඹ වාණිජ මහාධිකරණයට නැහැ. ඊට අදාල ජාත්‍යන්තර සම්මුති කිසිවකට ලංකාව අත්සන් කරලා නැහැ. අනිත් ප්‍රශ්නය තමයි මේ නඩුවේ විත්තිකරුවෙකු ලෙස ගුවන් ගමන් පාලක කියලා තනතුරක් සටහන් වෙලා තියෙනවා. ඒකත් වැරදියි.”

“ගුවන් ගමන් පාලක කියලා තනතුරක් නැහැ. දැන් ඉන්නේ ගුවන් සංචරන අංශයේ ප්‍රධානියා. කියලා තනතුරක් තමයි දැන් තියෙන්නේ අපි දන්න තොරතුරු වලට අනුව.මෙතන පැහැදිලි කුමන්ත්‍රණයක් ගිහිලා තියෙනවා තුන් දෙනෙක්. සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් , ගුවන් සංචරණ අංශයේ ප්‍රධානී, ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති මේ තුන්දෙනා සාකච්ඡා කරලා තමයි ගුවන් යානය නවත්වන එක කරලා තියෙන්නේ. රුසියාවෙන් ලාබෙට තෙල් හම්බ වෙනවා කියද්දී ඒ තෙල් ටික මිලදී නොගෙන ඉදලා ඒ මිලදී නොගැනීම සාධාරණීකරණය කරන්න රුසියාව එක්ක ගැටුමක් ඇති කරගත්තද කියන සාධාරණ ප්‍රශ්නය අපිට තියෙනවා. මේ තුන්දෙනා ගත්තම ඒ අය වියත්මග සාමාජිකයෝ. මේගොල්ලන්ව මේ තනතුරු වලට පත් කළේ නාමල් රාජපක්ෂ විසින්.මේගොල්ලෝ නාමල් රාජපක්ෂ එක්ක විශේෂයෙන් ඉතාම සමීප සම්බන්ධතා තියෙනවා නාමල් රාජපක්ෂ එක්ක. ඒ නිසා දැන් සිවිල් ගුවන් සේවා භාර ඇමති කවුරු වුණත් නාමල් රාජපක්ෂගේ අවතාරය කටුනායක වැඩ කරමින් ඉන්නේ. “