hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 20, ප.ව. 5:45



පවුල් අතර බල හුවමාරුව සාකච්ඡා කර තිබුණේ මීට මාස දෙකකට කලින් බවත් තමන්ට පහසුම පිටවීමේ දොරටුව නිර්මාණය කරගෙන තිබූ බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

වත්මන් අර්බුදය පිළිබඳ බුද්ධි අංශ අනාවැකි පළ කර තිබූ බවත් අනාගතයේදී සමාජ නැගිටීමක් සිදුවන බවට එම බුද්ධි තොරතුරුවලින් පෙන්වා දී තිබූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔහු කියා සිටියේ මේනිසා රාජපක්ෂ පවුල තමන්ට පහසුවෙන් පිටවීමේ දොරටුවක් නිර්මාණය කර ගැනීමට හැමදාම තමන්ගේ පවුල ආරක්ෂා කළ කෙනෙකු පත් කර ගත යුතු නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළ බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට හයිය දෙන්න හරීන් සහ මනූෂ මන්ත්‍රීවරුන් ගොස් ඇති බවයි ඒ මහතා පැවසූවේ.

එජාපයෙන් ඡන්දෙ ඉල්ලා මනූෂ නානායක්කාර 2011 වර්ෂයේ දී 18 වන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීමට ගිය බවත් හරීන් ගැන වේදනාවක් තිබුණද මනූෂ ගැන නම් වැඩිය නොහිතන බවත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්නට බැරි බවයි ඒ මහතා සඳහන් කළේ.

සාටක පින්තූරය තිබෙන තුරු රටට ගොඩ යෑමක් නොමැති බව කී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා රාජපක්ෂලා ගෑවුණු ආණ්ඩුව සුනාමියටත් වඩා වැඩි බරපතළ හානියක් රටට සිදු කරනු ඇතැයි ද සඳහන් කළා.

හොඳ මිනිසුන් ටික එකතු කර ඇත්ත සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවා නම් අද මිනිසුන් පෝලිම් වල නොසිටිනු ඇතැයි නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

අඩු ගනනේ ජනතාව එවිට මාසයක් කල් දෙනු ඇතැයි ද යහපත් වාතාවරණයක් ඇති වූ විට රටට සංවර්ධනය සහ ආයෝජනය  එනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: