hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 2:11



විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලය ඇත්තේ විෂයභාර අමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

අයවැය කාරක සභා අවස්ථාවේ අවසන් දිනය වන අද විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සිදු කර ඇති ප්‍රකාශයන් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම ගැන පාර්ලිමේන්තුව තීරණය ගත යුතු බවයි.

මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සභාපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වුවා.

“මේකේ බලය තියෙන්නේ ඇමතිට හා කැබිනට් මණ්ඩලයට. මමයි ඔය පනත හැදුවේ. මම දන්නවා ඕකේ තියෙන බලතල. මම තමා PUCSL පනත හැදුවේ. අනික ඒක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ. මම නොදන්නවයැ. මම දන්නේ නෑ ඇයි ජනතාව නොමඟ යවන්නේ කියලා. සභාපතිව මුණගැහෙන්න තියෙනවා. මට දැන් ලැබිලා තියෙනවා එතුමා ගැනත් කරපු ප්‍රකාශය ගැනත් පැමිණිලි කිහිපයක්. මෙතුමා කියනවා විදුලිබලය වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. එතකොට කොහොමද ආර්ථිකය ගෙනියන්නේ. එයාට ඇති බලයක් නෑ. එතුමා තමා ට්‍රිලියම් සමාගමේ සභාපති. ඒ සමාගම තමා වැඩියෙන්ම විදුලිය ගන්නේ. එතුමාට සමාගම් කිහිපයක් තියෙනවා. විදුලිබලය වැඩිවුණාම එතුමාගේ වියදම් වැඩිවෙනවා. එතුමාට කරන්න තිබුණේ මට මේක බලපානවා, මම ට්‍රිලියම් සමාගමේ සභාපති, මම මේකට එන්නේ නෑ කියලා.”