hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 17, ප.ව. 4:53



ආසියානු කුසලානය දිනාගැනීම හරහා දසුන් ශානක ලංකාවටම ලබාදුන්නේ විශාල ආදර්ශයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආසියානු ක්‍රිකට්, දැල්පන්දු සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඟයීමේ උත්සවට ඊයේ (16) එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“අද අපි තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ලබා දී උපහාර පුද කරනවා. පළමුවෙන් ම නෙට්බෝල් කණ්ඩායම. ගයන්ජලී අමරවංශ සමග ඒ නෙට්බෝල් කණ්ඩායම ආසියාවේ ශූරතාවය දිනා ගෙන තිබෙනවා. මම ඒ සියලු දෙනාට ස්තුතිය පුද කරන්න කැමතියි. ඔබට තිබෙන අඩුපාඩු ගැන මට දැනගන්න ලැබුණා. නැවත එසේ නොවන ලෙස අපේ යුතුකම් ඉටු කරන බව ප්‍රකාශ කරන අතර ඒ සඳහා මම ඉදිරියේ දී වගබලා ගන්නවා. යම් කිසි ක්‍රීඩාවක් සංවර්ධනය කරනවා නම් සම්පූර්ණයෙන් ම ඊට කැපවිය යුතුයි.

මීළඟට තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව. දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මෙවර ආසියානු තරගාවලියේ ඉදිරියට පැමිණ තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත ඉතිහාසය දෙස බැලූ විට මේ ජයග්‍රහණය අපට ඉතා වටිනා ජයග්‍රහණයක්. අපේ මලල ක්‍රීඩා අංශයෙන් මේ වගේ ම අපේ ක්‍රීඩකයෝ හතර දෙනෙක් ජයග්‍රහණ සනිටුහන් කර තිබෙනවා. ඒ සියලු දෙනාට ම මම ප්‍රශංසා කරනවා.

මේ දෙස බැලූවිට අපිට කරුණු දෙකක් සඳහන් කළ හැකියි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි පැරදුණේ ඇෆ්ගනිස්ථානයට. ඇෆ්ගනිස්තානයට පැරදුණා කියලා අපි ක්‍රීඩාවෙන් අයින් වුණේ නෑ. දසුන් එම පරාජයෙන් ප්‍රයෝජන ගත්තා. ඉදිරියට යාමට එය ශක්තියක් කරගත්තා. මෙය ක්‍රිකට් කණ්ඩායමට විතරක් නෙවෙයි, දසුන් ශ්‍රී ලංකාවට ම හොඳ උදාහරණයක් දීලා තියෙනවා.

දෙවනුව නෙට්බෝල් ක්‍රීඩාව. අපිට ලෝක ශූරතා දිනාගත හැකි බව ඔබ පෙන්වා තිබෙනවා. අපිට කිසිදු බියක් නැතිව ලෝකය සමග තරග කළ හැකියි. අපි පුරුදු වී තිබෙන්නේ ලෝකය සමග තරග කරන්න නෙවෙයි. ලෝකයේ තිබෙන නීති අපේ වාසියට වෙනස් කර ගන්න. ක්‍රිකට් නෙට්බෝල් කුමන ක්‍රීඩාවට ගියත් ලෝකයේ තියෙන ඒ නීති රීති අනුව තරග කළොත් අපට ලෝකය දිනා ගත හැකියි. ඒ විශ්වාසය ඔබ සියලු දෙනා ම ලබා දී තිබෙනවා. ඒ නිසා රට වෙනුවෙන් සියලු දෙනාට ම මම ස්තුති කරනවා. විශේෂයෙන් ම මේ ජයග්‍රහණ ඔබ සියලු දෙනාට ම හිමියි.

ඔබ සියලු දෙනා ඔබේ වගකීම උපරිමයෙන් ඉටු කර තිබෙනවා. ඔබ මේ රටින් ලැබූ අධ්‍යාපනය වැනි වරප්‍රසාද වෙනුවෙන් ණය ගෙවා ඇති බව කිව්වොත් නිවැරදියි. ඔබ මේ රට දාල ගියේ නැහැ නෑ. විශ්වාසය නැති කරගත්තේ නෑ. ඔබට අදාළ කාර්ය නිසි ලෙස ඉටු කර ගෞරවය රැගෙන නැවත මේ මේ රටට ආවා. අද වගේ අර්බුදකාරී අවස්ථාවක අපට රටෙන් ගන්න තියෙන්නෙ මොනව ද කියල හිතන්න නරකයි. අප සිතිය යුත්තේ අපෙන් රටට නැවත මොනව ද දෙන්න පුළුවන් කියලයි. එම පාඩම තමයි ඔබ මේ රටට උගන්වා තිබෙන්නේ.