hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 06, පෙ.ව. 11:28



ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට පත්වෙමින් පවතින බවද පැවසු ජනාධිපතිවරයා අසීරු වුවත් දිනෙන් දින ආර්ථිකය ශක්තිමත් කරන බව ද කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, අද වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලුදෙනා පිළිගත්ත ද එසේ නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කරන බවයි.

“ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්නට තිබුණත් ඒක ජනතාවට පෙන්නේ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා කියලාත් චෝදනා කරනවා. විදුලි බිල, ඉන්ධන ගාස්තු ඕනවාට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා මල නෙතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගේ බදු අයකර ගත යුත්තේ කියලා. හැබැයි අපි ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අපිව විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයින් අමතක කරන දෙයක් තියෙනවා. මල් තලමින් රොන් ගන්නා අවස්ථා ද තියෙනවා. මේක අපිට අපූරු පාඩමක්. සාමාන්‍ය තත්ත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දි එහෙම බෑ. එතනදි තත්ත්වය වෙනස්. අද අපිත් යන්නේ අතුරේ. පහුගිය කාලේ අපිට සිදුවුණේ ආර්ථික වැල්පාලම තරණය කරන්න. අපි එහෙම අනතුරුදායක තත්ත්වයකට පත්වුණේ ඇයි. ආර්ථිකය බංකොලොත් වුණේ ඇයි.”

මේ අතර, තුන්වැනි කාර්තුවේ සිට රටේ ආර්ථිකය යළි පිබිදීම ඇරඹුන බවත්  2024 දී  2%- 3% ක ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර ඇති වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී රාජ්‍ය ආදායම 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් පසුගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට හැකි වූ බවත් පැවසූ ජනාධිපතිවරයා ඒ හේතුවෙන් රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර තුන හතරක් පුරා ගෙවීමට නොහැකිව තිබූ සියලු හිඟ මුදල් ගෙවා අවසන් කළ බව සඳහන් කළා.

මේ අතර, මහ බැංකුව සහ රජය සම්බන්ධීකරණයෙන් සිදුකළ සාර්ව ආර්ථික ඉල්ලුම් කළමනාකරණ ප්‍රයත්නයන් හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී 70%ක්ව තිබූ උද්ධමනය 2024 වසරේ පෙබරවාරි මාසයේ දී 5.9% දක්වා පහත වැටීමත් සමඟ  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පාරිභෝගිකයින්ට සහන ලබා දෙමින්, 2023 වසරේ දී 30% ඉක්ම වූ පොලී අනුපාත 10%කට වඩා අඩු අගයකට ගෙන ඇති බවද ජනාධිපතිවරයා පැවසුවා.

ජනපති කළ සම්පූර්ණ කතාව පහතින්,