hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 18, පෙ.ව. 4:48



ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ පෙරවරුවේ ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී අගමැතිවරයා ප්‍රකාශ කළේ ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40ත් 50ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි.

මෙහිදි විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් අගමැතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල, ආචාර්ය හර්ෂද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයින් ඊට එක් කරන ලෙසත් අගමැතිවරයා දැනුම්දී තිබෙනවා.

මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02ක් තුළ තමාට අවශ්‍ය බවයි ඔහු, අවධාරණය කළේ.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පෞද්ගලික අංශයටත් බෙදා භාර දිය යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ සඳහා උපාධිධාරී පත්වීම් ලැබ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින උපාධිධාරීන් ද එක් කර ගැනීමට යෝජනා වුණා.