hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 05, ප.ව. 4:11



ඉදිරි මාස 6ක කාලය ඉතා දුෂ්කර බවත් අප කෙදිනකවත් අත් නොවිඳි කාලයක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (05) ඇඩ්වොකාටා ආයතනය මගින් සම්පාදිත ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම අවස්ථාවට සහභාගි වෙමින්.

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එළැඹීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද පෙන්වා දුන්නා.

“මේ තත්ත්වයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟත්වයට පැමිණීම හැර අපට වෙනත් විසඳුමක් ඇති බව මම සිතන්නේ නැහැ. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට එළැඹීමට සිදුවනවා. එයින් යහපතක් සිදුවේද අයහපතක් සිදුවේද යන්න තීරණය කළ යුතු වන්නේ ඔබයි. අපි පළමුව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණිය යුතුයි. නමුත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුදෙනා අවධානය යොමුකළ යුතුයි. කුමන හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පක්ෂයක් ඊට එකඟ නොවන්නේ නම් අපිට අයිතියක් තිබෙනවා ඔබලාගේ විසඳුම කුමක්ද කියා ප්‍රශ්න කිරීමට.”

නැත්නම් ඔබගේ විකල්ප විසඳුම කුමක්ද යන්න. සියලු පක්ෂ මේ සඳහා එකඟත්වය පළකර යුතුයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදී අපිට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටලුව වන්නේ රජයන් මාරුවන විට ප්‍රතිපත්තීන් වෙනස්වීමයි. අපි සිතා බැලිය යුතුයි අපි ඒ සඳහා සූදානම්ද යන්නයි. එය පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ට එහි ඵලවිපාකවලට මුහුණදෙන්න සිදුවේවී. මෙයයි අපිට ආර්ථීකය ප්‍රකෘතිමත් කළ හැකි මාර්ගය. එහෙත් නියත වශයෙන්ම ඉදිරි කාලයේදී දුෂ්කර විය හැකියි. මම එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පළමු මාස 6ක කාලය ඉතා දුෂ්කරයි. අපිට කෙදිනකවත් අත්නොවිඳි කාලයක් නමුත් එය අප විසින් පසුකළ යුතුයි. අපිට ආපසු හැරිය නොහැකියි. පැරණි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. මේ නිසා අපි එම ක්‍රමයට නැවත අවතීර්ණය වීම තේරුමක් නැහැ. අපි අලුතින් සිතමු.”