hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 12, ප.ව. 10:59



මේ වන විට රට මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයෙන් නියත වශයෙන්ම ගොඩගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර මංගල්‍යය අවසන් බව සැල කරන සාම්ප්‍රදායික උත්සවයේදීයි.

සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදා කරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලු දෙනා අලුත් බලාපොරොත්තු සමග ඉදිරියට ගමන් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

රටේ අස්ථාවරභාවය සහ ආර්ථික අර්බුද පැවතියද එම ගැටලු හැකි ඉක්මනින් අවසන් කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා පවසනවා.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බව සඳහන් කළා.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මේ උතුම් වගකීම ඉෂ්ට කිරීම ගැන මම පළමුවෙන්ම දියවඩන නිලමේතුමාට ප්‍රශංසා කරනවා. මේ ඓතිහාසික ඇසළ මහා පෙරහර උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට හැකි වූයේ වසර කිහිපයකට පසුවයි. පසුගිය වසර දෙකේ එය උත්කර්ෂවත්ව පවත්වන්න අපට අවස්ථාව ලැබුණේ නැහැ. මෙවර ඉතා අලංකාරවත් සහ සංවිධානාත්මකව පෙරහර පැවැත්වුණා. ඒ වගේම විශාල ජනතාවක් ඊට එක් වුණා. ඒ කටයුතු සංවිධානය කළ දියවඩන නිලමේතුමා, බස්නායක නිලමේතුමන්ලා ඇතුළු සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. රටට අලංකාරවත් පෙරහරක් නරඹන්න අවස්ථාව ලැබුණා. මේ සමගම දෙවිනුවර සිට නල්ලූර් දක්වා පෙරහර පැවැත්වුවා. සතර මහා දෙවිවරුන්ට පමණක් නොව “ශිව” දෙවියන් ඇතුළු අනෙකුත් දෙවිවරු වෙනුවෙන් පෙරහර පැවැත්වුණා.

ඒ හැම පෙරහරකටම විශාල ජනතාවක් එක්ව සිටියා. විශේෂයෙන්ම මේ පෙරහර පැවැත්වීම අපේ රටේ සම්ප්‍රදායේ කොටසක්. ඒ වගේම අපේ රටේ පැවැත්මේ කොටසක්. හැම ප්‍රදේශයකම ජනතාව නුවරට එකතු වෙන්නේත් දන්ත ධාතුන් වහන්සේ මහනුවර නගරය වටා පෙරහරින් වැඩම කරවන්නේත් උන්වහන්සේගේන් අපේ රටට ආරක්ෂාව ඉල්ලලා. දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලලා. මේ රට විපතින් බේරගන්න කියලා කරන ඉල්ලීම කරමින්. ඒක අපේ රටේ සම්ප්‍රදායට ඉතා වැදගත් දෙයක්. ඒ නිසා ඉතා වැදගත් මාසයක් ලෙස ඇසළ මාසය අපි සලකනවා.මෙවර පෙරහර මංගල්‍ය වැදගත් වන්නේ එයා ඉතා අසීරු කාලයකදී පැවැත්වීම නිසයි.

අනෙක් අතට මේ රටේ විශාල ආර්ථික කඩා වැටීමක් තිබෙන කාලයක්. මේ අසීරුතාව අපි හැම දෙනාටම බලපාලා තිබෙනවා. අපි මෙතනින් මේ කාලය අවසන් කළ යුතුයි. මීට වඩා අභියෝග තිබෙන කාලයක් එන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපි ගොඩඑන්න ඕන, අපි සූදානම් වෙන්න ඕන ඉදිරියට ඇවිල්ලා එපේ රටට අලුත් ආර්ථිකයක් ගොඩනගා ගන්න. මට කිසිම සැකයක් නැහැ දළදා වහන්සේ උදෙසා මහනුවර පැවැත්වූ මේ ඇසළ මහා පෙරහර, රටේ පැවැත්වූ අනෙකුත් පෙරහර ඇතුළු ආගමික උත්සව නිසා අපට විශාල ආශිර්වාදයක් ලැබෙනවා. එය අපට විශාල ශක්තියක්, ආරක්ෂාවක්. මගේ ප්‍රාර්ථනාව මේ විපතින් රටේ ආර්ථිකය ගොඩගැනීම. මේ ආගමික උත්සවවලින් ලැබෙන ආශිර්වාදය ඊට විශාල ශක්තියක්. ඒ ශක්තිය සමග අපි ඉදිරියට යමු. රටට හොඳ අනාගතයක් ඇති කරමු. දන්ත ධාතුන් වහන්සේගේ වගේම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ලබන වසර වන විට අපේ රට ගොඩගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ඉල්ලා සිටිනවා”

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ “නා” පැළයක් රෝපණය කිරීම රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා.