hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 04, ප.ව. 3:08



පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකි බව අවධාරණය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතන දෙක ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බව පැවසුවා.

රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් ඊයේ (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථනයේ පැවති උත්සවය අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අද මට අලංකාර ආචාර පෙළපාලියක් නරඹන්න අවස්ථාව ලැබුණා. ඇත්ත වශයෙන් මම සම්පූර්ණ පෙළපාළිය දුටුවේ නැහැ. දකුණු පැත්තේ තිබූ පෙළපාළියත්, වම් පැත්තේ තිබූ පෙළපාළියත් දුටුවා, මැද මම දුටුවේ මාධ්‍යයේ ඡායාරූප ශිල්පීන් පමණයි. කෙසේ හෝ ඇතැම් මාධ්‍ය කොපමණ පොලිසියට චෝදනා කළ ත්, තමන්ගේ ඡායාරූපකරුවන්ට පහර දුන් බව කිව්වත් මට නම් මෙතන පෙනෙන්න තිබෙන්නේ ඒ කණ්ඩායම් දෙක අතර හොඳ මිත්‍රත්වයක් තිබෙන බව යි.

අදට යෙදී ඇති පොලිස් දිනයේදී කරන ක්‍රියාකාරකම් හා පොලිසිය කරන සේවාවන්වලින් අපට වටහා ගත හැකියි පොලිසිය ආරම්භ කළ කාලයට වඩා වෙනස් කාලයක් අද තිබෙන බව. ඊට වඩා සංකීර්ණ ප්‍රශ්න තිබෙන බව. ඒ සංකීර්ණ ප්‍රශ්නවලට මුහුණ දෙන්න, එම ගැටලු විසඳන්න තමයි අද පොලිසිය සංවිධානය කර තිබෙන්නේ. ඒ නිසා මේ පොලිසියේ කාර්යක්ෂමතාව පවත්වාගෙන යාමට ක්‍රියාකරන පොලිස්පතිතුමා ඇතුළු පොලිසියේ නිලධාරීන් සියලු දෙනාට මම මගේ ප්‍රශංසාව පිරිනමනවා. එම වැඩකටයුතු කරන්න පොලිසියට සම්පූර්ණ සහයෝගය, මග පෙන්වීම ලබා දෙන ඇමතිතුමාටත් මම ප්‍රශංසා කරනවා.

පොලිසිය මේ රාජ්‍ය යාන්ත්‍රණයේ වැදගත් ආයතනයක්. විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය හදන්නේ මහ ජනතාව තෝරාපත් කරගත් නියෝජිතයන්. එය ක්‍රියාත්මක කරන විධායකයේ ඉන්නේ පාර්ලිමේන්තුව තෝරාපත් කරගත් නියෝජිතයන්, සමහර අවස්ථාවල ජනතාව තෝරාගත් විධායක ප්‍රධානින්. එහෙම නම් නීතිය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවෙන්, නීතිය හදන්නේ පාර්ලිමේන්තුවෙන්. එය ක්‍රියාත්මක කරන්න තිබෙන්නේ විධායකයට. කැබිනට් මණ්ඩලයට. ඒ නීතිය උල්ලංඝණය කරනවා නම් පාර්ලිමේන්තුවත්, කැබිනට් මණ්ඩලයත් ක්‍රියාත්මක වන්නේ නෑ. නීතියේ ආධිපත්‍ය කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන්නේ එයයි. අපි නීතියට ගරු කරලා නීතිය අනුව ක්‍රියා කළ යුතුයි. නීතිය උල්ලංඝණය කරන විට නීතියේ ආධිපත්‍ය කැඩෙනවා. නීතියේ ආධිපත්‍ය කඩනව නම් ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ වෙනවා.

නීතිය උල්ලංඝණය කළ විට ඒ පිළිබඳ ක්‍රියා කරන්න ආයතන දෙකක් තිබෙනවා. පළමුවෙන් ම ඒ ගැන සොයා බලා එයට වගකිව යුත්තේ කවුද කියලා හඳුනගෙන ඒ අයට විරුද්ධව නඩු දාන්න, අවශ්‍ය නම් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම පොලිසියේ කටයුත්තක්. ඒ පුද්ගලික නීති කැඩීම නෙවේ, පොදු නීතිය උල්ලංඝණය කරන අවස්ථාවලදී. ඉන් පසුව එම පුද්ගලයන් නීතිය කැඩුව ද නැද්ද කියලා තීරණය කරන එක ස්වාධීන අධිකරණයකින් කෙරෙන්නේ. ඉතින් මේ ආයතන දෙක නැතිව රටක් ක්‍රියාත්මක කළ නොහැකියි. පොලිසියක් නැත්නම් නීතියේ ආධිපත්‍යයක් නැහැ. ඒ වගේ ම ස්වාධීන අධිකරණයක් නැතිනම් නීතියේ ආධිපත්‍ය නැහැ. ඉතින් මේ ආයතන දෙක ආරක්ෂා කිරීමට තමයි අපි කැපවී සිටින්නේ.

මේ නීතිවලින් වැදගත් ම නීතිය තමයි රටේ මූලික නීතිය. ව්‍යවස්ථාවට අනුකූලව අපි වැඩ කළ යුතුයි. ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කළේ නැත්නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. එහිදී අධිකරණය පමණක් නොව පාර්ලිමේන්තුවේ බලතල උල්ලංඝණය කළා නම් කතානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවත් ඒ ගැන ක්‍රියා කළ යුතු වෙනවා.

පොලිසිය ව්‍යවස්ථාවත්, නීතියත් ආරක්ෂා කරන්න ක්‍රියා කරනවා. අප මතක තබා ගත යුතුයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමට නම් රටේ ව්‍යවස්ථාව ආරක්ෂා විය යුතුයි. ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනතාව තෝරා පත්කරගත් පාර්ලිමේන්තුවකින් අගමැතිවරයාත්, ඇමතිවරුත් තෝර ගන්න. කැබිනට් මණ්ඩලය කියන්නේ එයයි. ඒ අය තමයි මේ රටේ නීතිය ප්‍රකාශ කර රට ගෙනියන්නේ. ඒ අයට ක්‍රියාකරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙනවා නම් පමණයි.

කවුරු හරි උත්සාහ කරනවනම් පාර්ලිමේන්තුව නැතිව පිටින් අගමැතිවරයා ඉවත් කරන්න, කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න, එසේ නම් එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වෙනවා. ඒක වීර ක්‍රියාවක් බව කිව නොහැකියි. එවැනි අවස්ථාවකට තමයි අපිට මුහුණ දීමට සිදු වුණේ. මේ රටේ තරුණයෝ එකතු වෙලා ආණ්ඩුවකට විරුද්ධව අරගලයක් කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ අය සාමකාමීවයි ක්‍රියා කළේ. ඒ අයගේ දක්ෂකම් එක එක අංශවලින් පෙන්නුවා. ඒ ගැන කාටවත් ප්‍රශ්න කරන්න බැහැ. ඒ අය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව උද්ඝෝෂණය ගෙන ගියා. අවාසනාවකට මේ කණ්ඩායම ඉවත් කර ප්‍රචණ්ඩකාරීන් විසින් පසුගිය ජූනි මාසයේ දී මේ ව්‍යාපාරය අල්ලා ගත්තා. එවැනි ව්‍යාපාරයක් දීර්ඝකාලිව ගෙන යා නොහැකියි. ඒ තරුණ අරගලකරුවන් වෙනුවට ලංකාවේ එක එක පැතිවලින් කණ්ඩායම් ගෙනල්ලා එදා ආණ්ඩුව අඩපණ කරලා, නැති කරන්න කටයුතු කළා.

ජනාධිපති මන්දිරයත්, ජනාධිපති කාර්යාලයත් අල්ලා ගත්තා. එවිට ජනාධිපතිවරයෙකුට ක්‍රියා කළ නොහැකියි. ඊට පසුව අගමැති නිල නිවස අල්ලා ගත්තා. ඊට පසුව මගේ පුද්ගලික නිවසට ගිනි තැබුවා. මට ඉල්ලා අස්වෙන්න කිව්වා. මම ඉල්ලා අස්වුණේ නැහැ. ඒ වන විට ආණ්ඩුව ගෙනියන්න අපිට අමාරු වුණා. නැවත අගමැති කාර්යාලය අත්පත් කරගත්තා. එහෙම නම් දැ එවැනි පසුබිමක විධායකයට ක්‍රියාත්මක විය නොහැකියි. විධායකය අඩපණ වී තිබුණේ. එදා මම ක්‍රියා කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස.

ඉන් පසුව පාර්ලිමේන්තුවත් වට කළා. පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙනවා. එසේ නම්, මෙය නීතියේ ආධිපත්‍ය උල්ලංඝණය කිරීමක් පමණක් නොව ව්‍යවස්ථාවත් උල්ළංඝනණ කිරීමක්. ජනතාවගේ සර්වජන ඡන්ද බලය නැති කිරීමක්. මොකද ඕනෑ ම ව්‍යවස්ථාවක පාර්ලිමේන්තුවක් පත් කර ගත් විට යම් කාල සීමාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හොද නම් ඒ මන්ත්‍රීවරු නැවත පත් කරනවා. නැත්නම් ඒ අය පිට කරනවා.

ඉතින් මේ සියල්ල අඩපණ කර මේවා නැති කරන්න ක්‍රියා කළා. පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් අද මේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. කවුද රට පාලනය කරන්නේ කියලා අපි දන්නේ නැහැ. එවැනි බැරෑරුම් තත්ත්වයකටයි ආවේ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ මේ යුද්ධ හමුදාව සහ පොලිසිය නිසා. සමහරු කියනවා මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියලා. සමහරු කියනවා ඒ අය මර්දනය කළා කියලා. එදා රටේ නීතියක් තිබුණ ද, සාමයක් තිබුණ ද, ගෙවල්වලට පැනලා බඩු අරගෙන යනව ද, විශාල බයක් රටේ තිබුණා. දැන් මේකට සුදු හුණු ගාන්න වැඩක් නැහැ. පොලිසියේ පරීක්ෂණවලින් ඒ කරුණු දැන ගත හැකියි. ඊට පසුව පාර්ලිමේන්තුවටත් මේ ගැන සොයා බලන්න සිදු වේවි.

අපේ යුතුකම මේ අවස්ථාවේ දී මේ ප්‍රජාතන්ත්‍රවදය ඉදිරියට ගෙන යාම. මේ සාමකාමී අරගලකරුවන් ඉල්ලුවේ සමාජයේ වෙනස්කම් ඇති කිරීම. මොකද අනාගතය අයිති ඒ අයට, අපිට නෙවේ, එහෙම නම් ඒ අයට ඇහුම්කන් දී අපි ඉදිරියට යා යුතුයි. අපිට තිබෙන්නේ මේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒම. එය කරන්න නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය අවශ්‍යයයි. මෙය ආරක්ෂා කරන්න අපේ පොලීසිය සහ ආරක්ෂක හමුදාව පියවර ගත්තා. මේ අය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ මූලික ආයතනය ආරක්ෂා කළේ.

ඒ සඳහා කැපවූ පොලිස් නිලධාරීන්ට අපි විශේෂයෙන් අපේ ප්‍රණාමය පළ කළ යුතුයි. අද සංකේතාත්මකව සහතික ලබා දුන්නේ ඔවුන්ටයි. අපි සියලු දෙනා එකට එකතු වෙමු. මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු. මම හිතන්නේ නැහැ මෙතන ඉන්න මාධ්‍යවේදීන්ගෙන් කවුරුන් හෝ කැමති වෙයි කියා, තමන්ගේ මාධ්‍ය ආයතනයට පැමිණ තමන්ට තර්ජනය කර, ඒ අයට ඕන දේ දාන්න කියනවට. එයත් එදා සිදු වුණා. මේ නිලධාරීන් කළ කැපකිරීම නිසා අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණා. අපි මතක තබාගත යුතුයි දේශපාලනඥයින් ලෙස අපෙනුත් වැරදි සිදු වී තිබෙනවා. සියලු දෙනා එකතු වී අලුත් ගමනක් එළැඹෙන නිදහස් දිනයේ ආරම්භ කරමු.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: