hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 27, ප.ව. 1:25



පළාත් පාලන ඡන්ද විමසීමට දින නියම කර ඇති පරිදි එම දිනයට මැතිවරණයට මුහුණදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පසුගියදා (25) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසූවා.

හෙතෙම මෙසේද සඳහන් කළා.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස පළාත් පාලන ආයතන 252ක් සඳහා පොහොට්ටුව ලකුණින් තරග කරනවා. ඒ වගේම අපි උතුරු-නැඟෙනහිර පළාත්වල අපත් සමඟ සන්ධානගතව සිටින පක්‍ෂ සමඟ සන්ධාන හැටියට වෙනත් ලකුණුවලින් තරග කරනවා. මැතිවරණ ජයග්‍රහණය සඳහා ගම් මට්ටමින් බිම් මට්ටමින් අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. 2018 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය වගේම අපි මෙවරත් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා. රජයක් හැටියට අපට නොයෙක් ආකාරයේ චෝදනා එල්ල කරනවා ඡන්දය කල්දැමීමට උත්සාහ කරන බවට. නමුත් අපි පක්‍ෂයක් හැටියට ඡන්දයට සූදානම්. ඡන්දයට ලෑස්ති නිසයි ප්‍රථමයෙන්ම ඇප මුදල් තැන්පත් කර නාමයෝජනා භාරදීම සිදු කළේ. අපිට කිසිම ගැටලුවක් නැහැ. මැතිවරණය සඳහා දින නියම කර තිබෙන දිනයට අපි සූදානම්.

නිදහසෙන් පසු වසර 74ක කාලයක් විවිධ අය මේ රට පාලනය කළා. ඒ පාලන කාලවලදී ආර්ථික, දේශපාලනික වශයෙන් ගත් තීන්දු තීරණවල අවසානය මෙතැනට ඇවිත් අපි රජය බාර ගැනීමෙන් පසු පුපුරා ගියා. මෙයට නොයෙක් හේතු තිබෙනවා. යුද්ධය අවසන් කරපු නිසා මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරුන් සමඟ ජාත්‍යන්තරයේ සිටින ඩයස් පෝරාව සිටින්නේ වෛරයකින්. ඒවත් ඉදිරියට පැමිණයි මේ තත්ත්වය අද ඇති වුණේ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නිසා ජනතාව තුළ කලකිරීමක් තිබීම සාධාරණයි. මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථක වී තිබෙනවා. ඉන්දියාව, චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය ලබාදීමට කටයුතු සූදානම්. රටේ පෙළපාළි, උද්ඝෝෂණ පවත්වමින් සංචාරකයන්ගේ පැමිණීමද වැළැක්වීමට උත්සාහ කරනවා. පිටරට රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රටට ඩොලර් එවන්න එපා කිව්වා. මේක තමයි පසුගිය කාලේ ඔවුන්ගේ සටන් පාඨය වුණේ. ඩොලර් නැති වුණාම බෙහෙත් පෙත්ත පවා නැති කිරීමටයි කටයුතු කළේ. එහෙම කරලා මේක අර්ථකථනය කරනවා ඩොලර් හොරකම් කරනවා කියලා.”