hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 19, පෙ.ව. 9:32



මෙම අවස්ථාවේ අප මූලිකත්වය දෙනු ලබන්නේ රටේ ආර්ථිකය ඍණ තත්ත්වයෙන් ධන තත්ත්වයට ගෙන ඒම සඳහා ජනාධිපතිතුමාට ශක්තියක් වීමට බවත් රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට පක්ෂයක් වශයෙන් සහාය දීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී එස්.බී. දිසානායක මහතා මෙසේද සඳහන් කළා.

“අපි බොහෝම අමාරුවෙන් තමයි IMF එකෙන් බිලියන 2.9ක් අනුමත කරගත්තේ. මේ විධියට අනුමත වුණේ මේ රටේ රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසයි. අපිට මේ අවස්ථාවේ 2.9 දීලා මේ බංකොලොත් තත්ත්වයෙන් අපි මෙහෙම නැඟිට්ටවලා ගත්ත උදව්ව ලොකු උදව්වක්. අපි ඕනෑවට වඩා IMF එක ගැන බලාපොරොත්තු තියාගන්න ඕනේ නෑ. මේ අවස්ථාවේ IMF එකේ පැතුම ලංකාව, පාකිස්තානය වැනි රටවල් වට්ටලා තියාගන්න.  ලංකාවේ ඒ වැඩේ කරන්න දෙවරක් හිතන්න වෙලා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය අරගෙන ඉන්න හින්දා. අපි වට්ටලා තියාගන්න IMF එකට, ඇමරිකාවට, ලෝක බැංකුවට වුවමනාවෙලා තිබෙන්නේ අපිත් එක්ක තරහට නොවේ. චීනයත් එක්ක තරහට. මේ කාරණය පිළිබඳව ඉතා ප්‍රවේශමෙන් කල්පනා කරමින් අපේ රට නැඟිට්ටවන්න උත්සාහ කරන්න ඕන. ඒ වැඩේ හරියට තේරුම් අරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩ කරගෙන යනවා.

අපේ රටේ ලොකු කලබලයක්, ආන්දෝලනයක් ගියාට ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ අපි කවුරුවත් ජනාධිපති අපේක්ෂකයෙක් පිළිබඳව හිතලවත් නෑ. ඒ පිළිබඳව සාකච්ඡා කරලවත් නෑ. අපි මේ අවස්ථාවේ හිතන්නේ මේ රටේ ආර්ථිකය වහාම ඍණ තත්ත්වයෙන් ධන තත්ත්වයට ගේන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙළට අපි උදව් උපකාර කරන්න ඕන. එය මේ රටට ඉතාම අවශ්‍ය කාරණයක්. ඒ බව එතුමා හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. ඒ සඳහා මේ රටේ සංචාරක ව්‍යාපාරය පුළුවන් තරම් ශක්තිමත් කරලා නැඟිට්ටවන්න ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා තිබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය වගේ දේවල්වලින් අපි පුළුවන් තරම් විදේශ විනිමය ලංකාවට ගලාගෙන එන්න ආසියානු, මැදපෙරදිග දරුවෝ මේ ලංකාවට ආකර්ෂණය කරගන්න තැනට ගෙන ඒම සඳහා අපි වැඩ කරන්න ඕන.”