hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අප්‍රේල් 13, පෙ.ව. 11:31



ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කරන්නා වූ කිසිදු පනතකට තම පක්‍ෂය එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මෙසේද සඳහන් කළා.

මේ දවස්වල බොහෝ සේ සාකච්ඡාවට බඳුන්වෙලා තිබෙනවා ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව. ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හේතුව වුණේ මෙතෙක් ලංකාවේ පවතින ත්‍රස්ත විරෝධී පනත තුළ ඇතිවී තිබෙන කරුණු ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් එකඟ නෑ කියන මතයක් ඇති වීම තුළ තමයි අලුතින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන්න යෝජනා කළේ. මේ පනත තාම ඉදිරිපත් වෙලා නෑ. නමුත් දැනට අපි දන්න කරුණු මත රටේ ඒ සම්බන්ධයෙන් ලොකු ආන්‍ෙදා්ලනයක් ඇතිවෙලා තිබෙනවා. අපි පක්ෂයක් හැටියට කිසිම ආකාරයකට ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කරන්නාවූ හෝ බාධා කරන්නා වූ කිසිදු පනතකට එකඟ වන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ජනතාව සතු අයිතිය කිසිදු ආකාරයකින් මඟහරින්නා වූද බාධා කරන්නා වූද කිසිදු නීතියකට පනතකට අපි පක්ෂයක් විදිහට එකඟ නෑ. මීට කලිනුත් අපි ප්‍රකාශ කර පරිදිම මෙම පනතේ ත්‍රස්තවාදී ක්‍රියාව නිර්වචන කිරීමේදී කිසියම් වූ සීමාවන් පැනවිය යුතුයි කියන අදහසේ අපි දැඩිව ඉන්නවා.

සෑම ක්‍රියාවක්ම ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට නිර්වචනය කිරීමේ හැකියාවක් පනතෙන් එනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයකට සුදුසු නෑ. ඒ වගේම අපි ඊයේ මාධ්‍යවලින් දැක්කා මෙම පනත ගෙන එන අධිකරණ අමාත්‍යවරයාටවත් මේ පනත සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බවයි පෙනී යන්නේ. ඒ නිසා අපි පක්ෂයක් විදිහට ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පනත ගෙන එන අමාත්‍යවරයාටවත් විශ්වාසයක් නැතිනම් මෙය නැවත සමාලෝචනය කරලා මේ පනත සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටුවක් පත් කරලා සොයා බැලීමක් කරලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පටහැනි නොවන ආකාරයේ පනතක් ගෙන ඒමට කටයුතු කරන්න කියලා. රජයක් විසින් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට ඒ පනත ගැන විශ්වාසනීයත්වයක් පනත ඉදිරිපත් කරන රජයට තිබීම තමයි ප්‍රධානම කාරණය. එවැනි විශ්වාසයක් නැතිනම් එවැනි පනතක් ගෙනායුතු නැති බවයි අපේ මතය.

මේ දිනවල බොහෝ පිරිස් අපි දකිනවා අපේ පක්ෂයට පරිබාහිර පිරිස් කතා කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වෙලා කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම පාවිච්චි කරලා ඡන්දය එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බෙදීමක් තිබුණට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ ගමේ ඉන්න පාක්ෂිකයන්ගේ බෙදීමක් නෑ. පහුගිය දවස්වල අපි ගම්වල සංචාරය කළා. පක්ෂයේ සාකච්ඡා පැවැත්තුවා. එයින් අපිට හොඳින් පෙනී ගිය කරුණක් තමයි අපේ පාක්ෂිකයා ඉන්නේ පක්ෂය සමඟයි. පාර්ලිමේන්තුවට ආපු කිහිපදෙනෙක් මේ පක්ෂය සමඟ නැති වුණාට එය අපිට ප්‍රශ්නයක් නොවේ.

“කංචන විජේසේකර ඇමැතිතුමා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහගේ නමත් සලකා බැලීමට සුදුසුයි කියලා. ඒ ප්‍රකාශයේ කිසිදු වරදක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දැනටත් ජනාධිපති කෙරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි එකතුවෙලා. එතැනින් කියන්නේ නෑ අපේ පක්ෂයේ ඊළඟ ජනාධිපතිවරයා එතුමා වෙනවා කියලා. එහෙම දෙයක් එතුමා කිව්වේ නෑ. මේ ජනාධිපතිවරණයක් කතා කළ යුතු සුදුසු අවස්ථාවක් නොවේ. ජනාධිපතිවරයාගේ කාලය අවසන් වන්නේ 2024. එකම කාරණයක් කියන්න ඕන. අපි පක්ෂයක් හැටියට ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා තීරණය කරලා නෑ. අපිට අවශ්‍ය නම් අපේ පක්ෂයේ ඊළඟ  ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි සුදුසු අපේක්ෂකයන් අපි සතුව ඉන්නවා. අපි මේ රටට ජනාධිපතිවරණයට  අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයට අවශ්‍ය කාලයේදී මිසක් දැන්ම ජනාධිපතිවරණ අපේක්ෂයෙක් නම් කරලා රටට අනවශ්‍ය ප්‍රශ්නයක් හෝ රටට අනවශ්‍ය කතිකාවක් ඇති කරන්න සූදානම් නෑ. 

මේ අවස්ථාවේ මේ රටට අවශ්‍ය මේ රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යෑම මිසක්, කල් ගිය පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් ලබාගැනීම මිසක් ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳව කතා කිරීම නොවේ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙලාවේ කටයුතු කරනවා. ඒ අපේක්ෂකයා මේ රටේ යුද්ධය තිබ්බ අවස්ථාවේ යුද්ධය නිමා කළ හැකි නායකයෙක් මේ රටට බිහි කළා. මේ රටේ  ආර්ථිකය කඩා වැටිලා තිබෙන අවස්ථාවේ ආර්ථිකය නංවන්න පුළුවන් නායකයෙක් බිහි කළා. ආරක්ෂාව කඩාවැටිලා තිබෙන අවස්ථාවේ ආරක්ෂාව ගොඩනංවන්න පුළුවන් නායකයෙක් බිහි කළා. ඒ වගේම මේ රට නවීන ලෝකයේ එක්ක ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් රටක් බවට පත් කරන්න පුළුවන් දැක්මක් ඇති නායකයෙක් බිහි කිරීමයි. එවැනි නායකයකු අපි සතුව ඉන්නවා.”