hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 01, ප.ව. 1:04



පසුගියදා පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු මුදල් කමිටු රැස්වීමේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අදහස් දැක්වීම තහනම් කර තිබුණා.

තහනම් නියෝගය පැනවීමට එහි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පියවර ගත් බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මුදල් කමිටු රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සහභාගි වී සිටියා.

විපක්ෂ නායකවරයා එහිදී සැලසුම් කර තිබුණේ ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සේවක අර්ථසාධක අරමුදල්වලට සිදුවන හානිය පිළිබඳ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට බවයි කියන්නේ.

මීට එරෙහිව කමිටුව නියෝජනය කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාගේ පැමිණීමට එරෙහිව විරෝධය පළකිරීමට පියවර ගෙන තිබූ බව පැවසෙනවා.

රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නිමල් ලන්සා මහතා කියා තිබුණේ විපක්ෂනායකවරයා මුදල් කමිටුවේ සාමාජිකයකු නොවන බැවින් ඔහුට එම කමිටුවේ අසුන්ගත නොහැකි බවයි.

ඊට විරෝධය පළකොට තිබූ විපක්ෂ මන්ත්‍රීවරුන් කියා තිබුණේ විපක්ෂනායකවරයාට නිල බලයෙන් ඕනෑම කමිටුවක අසුන්ගත හැකි බවයි. ඔවුන් ඒ පිළිබඳව උදාහරණද දක්වා තිබෙනවා.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරද්දී අවසානයේ කමිටු සභාපති හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කොට තිබුණේ ඒ සම්බන්ධව ඡන්ද විමසීමක් පවත්වා තීන්දුවක් ගතයුතු බවයි.

ඒ ආණ්ඩු පක්ෂ බහුතරයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මුදල් කමිටුවේ පැවැති ඡන්ද විමසීමේ දී විපක්ෂනායකවරයා කමිටුවට සහභාගි වී අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව ඡන්ද 10කුත්, කමිටුවට සහභාගි වී අදහස් ප්‍රකාශ කිරීමට පක්ෂව ඡන්ද 06කුත් ලැබී තිබෙන බව අනාවරණය වෙනවා.

එහිදී සජබ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පාඨලී චම්පික රණවක මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියා.

විපක්ෂ නායකවරයාගේ පැමිණීමට සහ අදහස් දැක්වීමට විරෝධය පළකරමින් ඡන්දය ප්‍රකාශ කළ 10 දෙනා වන්නේ රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අනූප පැස්කුවල්, සීතා අරඹේපොල සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, මධුර විතානගේ යන අයයි.

විපක්ෂනායකවරයාට අදහස් දැක්වීමට හැකි බව පවසමින් ඊට පක්ෂව ඡන්දය භාවිත කොට තිබුණේ රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන්, ආචාර්ය නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන විපක්ෂ මන්ත්‍රීවරුන්.

පාඨලී චම්පික රණවකට අමතරව ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහද ඡන්දය දීමෙන් වැළකී සිටියා.

ඒ අනුව විපක්ෂනායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා මුදල් කමිටුවට නිරීක්ෂකයකු වශයෙන් සහභාගි වුවත් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සිදුව තිබුණා.