hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 2:59



සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුලට දැමීමටත්, වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා.

ඔහු ඒ බව විමසා සිටියේ, අත්අඩංගුවේ සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් බැලීමට අද (04) කොළඹ කොටුව පොලීසිය වෙත ගොස් නැවත පැමිණෙන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වැඩකරන ජනතාව වෙනුවෙන් මෙන් ම ගුරු පරපුර වෙනුවෙන් ද අරගල කළ ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන සිටිය දී, මර්දනයේ පිතෘවරයා වන මහින්ද රාජපක්ෂ මහතා සුවසේ කල් ගත කරමින් සිටින බව පවසන විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මනුෂ්‍යත්වයේ නාමයෙන් රට ගැන සිතා එකට එක්ව කටයුතු කළයුතුව තිබිය දී අන්තනෝමතික ලෙස දේශපාලන දඩයමේ යෙදීම හෙළා දකින බවත්, මේ රාජ්‍ය ත්‍රස්තවාදය වහා ම නතර කළ යුතු බවයි.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන්නට පෙරාතුව මන්ත්‍රීවරයෙකු ලෙස සිටිය දී ජෝසප් ස්ටාලින් ගැන කළ ප්‍රකාශය සිහිපත් කළ විපක්ෂ නායකතුමා එදා ඔහු අත්අඩංගුවට ගන්නා විට ජී එස් පී සහනය අහිමිවන්නට පුළුවන් යැයි කීවා නම් අද එසේ නොවන්නේ දැයි ප්‍රශ්න කර සිටියා.

ප්‍රශ්න විසඳිය යුත්තේ බෝම්බයෙන් කඩුවෙන් උණ්ඩයෙන් වැනි ආයුධවලින් නොවන බවත්, එය කළ යුත්තේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ, වර්තමානය දක්වා ඇදී ආ හිංසන චක්‍රය ආරම්භ කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ බවයි.

ඕනෑ ම පුරවැසියෙකුට තමන් දරන මතය වෙනුවෙන් ඉදිරිපත් වීමටත්, පෙනී සිටීමටත්, කතා කිරීමටත් රැස්වීමටත්, සාමකාමීව විරෝධතා දැක්වීමටත්, අයිතියක් ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, “ප්‍රචණ්ඩත්වයෙන් තොර ඕනෑ ම අරගලයකට ඇති අයිතිය කිසිවෙකුටත් උල්ලංඝනය කළ නො හැකියි” යනුවෙන් ද කියා සිටියා.

ඒ අනුව ජෝසප් ස්ටාලින් තමන්ට හිමි අයිතිය රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පාවිච්චි කළ බවත්, එකී අයිතියට විරුද්ධ වන්නට කිසිවෙකුට නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.