hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 29, පෙ.ව. 12:20



බෞද්ධ ආගමට නිගා කරනු ලබන පුද්ගලයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වෙනි පරිච්ජේදය, ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ දෙසිය අසූ නමය යටතේ දැඩි දඬුවම් දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සඳහන් කළා.

එලෙස දඬුවම් නොදුනහොත් බෞද්ධයන් නීතිය අතට ගනී යැයිද වීරසේකර මහතා කියා සිටියා.

ඒ මහතා මෙම අදහස් පළ කලේ නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අරගලයේදීත් අපි දැක්කා කොහොමද බුදු දහමට නිගා කරන අයුරු. බුදුරජාණන් වහන්සේට නිගා කරන අයුරු. කළු පාටින් වෙසක් කූඩු දාපු අයුරු. අරගලයත් අපි දන්නවා සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ ඒ මුල්‍යමය පහසුකම් දුන්නේ බටහිර රටවල්. ඉතින් බටහිර රටවල් වල තියෙන එක ම හිසරදය තමයි මේක බෞද්ධ රටක් වීම සහ මේ බෞද්ධයන්ගේ තියෙන එකමුතුකම සහ බුදුන්ට මෙහෙම අපහාස කළාට මං හිතන්නේ වෙනත් ආගම් වලට අපහාස කරන්න හිතන්නවත් නැහැ. මොකද එහෙම වුණොත් එහෙම පසුවදාම ගල් ගහලා මරා දමන නිසා. මේ අයට විරුද්ධව ව්‍යවස්ථාවේ නම වෙනි පරිච්ජේදය, ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ දෙසිය අසූ නමය යටතේ දැඩි දඬුවම් දිය යුතුයි. එහෙම නැත්තම් බෞද්ධ බෞද්ධයෝ මේ නිතිය අතට ගනීවි.”

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පසුගියදා පැවති ප්‍රහසන වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය නැමැත්තිය, බුදුන් වහන්සේට සහ බෞද්ධ සංස්කෘතියට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබුණා.

ඒ ප්‍රකාශ තුළ අපහාසය පමණක් නොව අසභ්‍ය වචන පවා ගැබ්ව තිබූ අතර, එහිදී ඇය බෞද්ධ කාන්තා පාසල් ද ප්‍රසිද්ධියේ බරපතල ලෙස විවේචනය කළා.

නතාෂා එදිරිසූරිය සිදුකළ මෙම ප්‍රකාශ පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වූ අතර ඊට පාර්ශව රැසක විරෝධය එල්ල වීමත් සමඟ ඇය ඒ සම්බන්ධයෙන් වහා සමාව අයැද තිබුණා.

කෙසේ වෙතත් ඇයට එරෙහිව ඒ වන විටත් ලැබී තිබූ පැමිණිලි මත පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කළා.

ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය තහවුරු කරගෙන තිබුණේ නතාෂා එදිරිසූරිය රටින් පලා යාමේ සූදානමින් පසුවන බවයි.

වහාම අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබා ගත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් පෙරේදා රාත්‍රීයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඇයව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය රාත්‍රී 10.30ට පමණ ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණේ රාත්‍රී 12.20 ට පිටත් වීමට නියමිතව තිබූ M.H 178 ගුවන් යානයෙන් මැලේසියාව බලා පිටත් වීමටයි.

අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.