hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 29, පෙ.ව. 5:33



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා ගිය සියලු දෙනාට නැවත පක්ෂය සහ එක් වීමට අවස්ථාව ඇති බව පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කොට විනය විරෝධී ආකාරයෙන් කටයුතු කල අයට එම වැරදි නිවැරදි කරගෙන ඉල්ලීමක් කළහොත් නැවත පක්ෂය සහ එක් වීමට කිසිදු ගැටලුවක්, බාධාවක් නොමැති බවයි.

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා,                                                      

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ කාල වකවානුවලදී විවිධ ගැටළු වලට හා අර්බුද වලට මුහුණ දුන් පක්ෂයක්. නමුත් මේ පක්ෂය කවදාවත් ජනතාවගෙන් ඇත් වුණේ නෑ. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවාලීම සඳහා මැතිවරණ අත්‍යවශ්‍ය බවයි. රටේ ජනතාව මහපාරට ඇවිත් 69 ලක්ෂයක් ජනතා ඡන්දයෙන් පත් කරගත් ජනාධිපතිවරයා පලවා හැර වෙනසක් පැතුවත් වෙනසක් ඉල්ලූ ජනතාවට අද සිද්ධ වෙලා තියෙන්නේ එකම මන්ත්‍රීවරයෙක් පත් කරගන්න බැරි වූ පක්ෂයක නායකයෙකු යටතේ තිබුනටත් වඩා ගැහැට විදීමටයි. තාඩන ,පීඩන වලට ලක් වීමටයි.

ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂයක නායකයෙක් තමයි අද රට පාලනය කරන්නේ. එබැවින් වහාම මැතිවරණ පවත්වා මහජන මතයට හිස නමා නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුයි. ඒ බව අපේ රට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා අද පිළිගෙන තියෙනවා. මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණ, ප්රාදේශීය සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි. එතකොට බලාගන්න පුළුවන් ජනතාවගේ මතය. විවිධ හේතු මත අපේ පක්ෂයෙන් ඉවත් කළ අය අපිට නොයෙක් අවලාද නගනවා ඡන්දයක් තිබ්බොත් මේ අයට අත්වන ඉරණම බලාගන්න පුළුවන්. අද ඡන්දය එපා කියලා කෑගහන්නෙත් තම බලය අහිමි වේ යැයි බියෙන් ඉන්න අයයි.

පොහොට්ටුව අද කෑලි කෑලි වලට කැඩිලා ඡන්දයකට මුහුණ දීමේ බියෙන් නොයෙක් දේ කියමින් ඡන්දය පස්සට දාන්න උත්සාහ කරනවා. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට එන්නේ දැවැන්ත සංධානයක් සමගින්. අපි කියන්නේ පුළුවන් ඉක්මනින් මැතිවරණ තියන්න කියලායි. විනය හේතු හා නොයෙක් හේතු මත අප පක්ෂයෙන් ඉවත් වූ සියලු දෙනාට පුළුවන් ඒවා නිවැරදි කරගෙන ඉල්ලීමක් කරලා නැවත අපේ පක්ෂයට එන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයන්ගේ දරුවෝ පවා පක්ෂය දාලා ගියා. වැරදි තේරුම් අරගෙන නැවත ඉල්ලීම් කරලා පක්ෂයට ආවා පක්ෂයක විවිධ මතවාද සාමාන්‍ය දේවල්.” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.