hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 3:56



අමාත්‍යධුර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධුර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබුණේ, සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය වන්නේ නම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහාය ලබාදීමට බවයි.

එම තීරණවලට පටහැනිව රජයේ අමාත්‍යධුර භාරගැනීම කිසිසේත් අනුමත නොකර බවද ඔහු තරයේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තමතමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂා පෙරදැරිව අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවද එය පිළිකුල් සහගත බවද ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් මෛත්‍රීපාල සිරිසේන මේ බව පෙන්වා දී තිබෙනවා.

එම නිවේදනය පහතින්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍ය තනතුරු ලබාගැනීම!

අමාත්‍යධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව ප්‍රකාශ කර සිටිමු. වර්තමානයේ පොදු මහජනයා විඳින කුසගින්න ඇතුළු දුක් පීඩාවලින් රටත් ජනතාවත් ගොඩගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය වන්නේ නම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලදි. එම තීරණවලට පටහැනිව රජයේ අමාත්‍යධූර භාරගැනීම කිසිසේත් අප අනුමත නොකරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තමතමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂා පෙරදැරිව අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සියලු පාර්ශව විසින් පිලිගෙන ඇති පරිදි, රටේ දේශපාලනික ස්ථාවරත්වය ඇතිකිරීමට හා අර්බුදය කළමනාකරණය කිරීමට, සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය කළ යුතුය යන්න පළමුවෙන් යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ සදහා සිදු කරන සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතරතුර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හෝ පක්ෂ නායකත්වය සමග කිසිදු සාකච්ඡාවකින් තොරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වත්මන් ආණ්ඩුවේ තනතුරු දරමින් සහය දෙන බව පොදු මහජනතාවට ව්‍යාජව හගවමින්, අප පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය තනතුරු ලබාගැනීම ඉතා පිළිකුල් සහගතයි.

මෙතෙක් සාකච්ඡා කොට ඇති පරිදි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකගතාවකින් තොරව මන්ත්‍රීවරුන්හට අත්තනෝමතිකව තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ අප යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීණ ආන්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බවයි. එනිසා යළිත් බිහිවන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බලලෝභී සාම්ප්‍රදායික දූෂිත ආණ්ඩුවක් පමනි. එසේම එය, මේ රටේ මහ නාහිමිපාණන් වහන්සේලාගේ, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ, විද්වත් හා වෘත්තිකයන්ගේ, සිවිල් සමාජ ක්‍රීයාකාරින් ඇතුලු පොදු මහජනතාවගේ මතය නිර්දය ලෙස බැහැර කිරීමකි. අනිත් අතින්, රටේ උද්ගත ආර්ථික අර්බුදය සමනය කිරීම පිණිස සහය දීමට අපේක්ෂාවෙන් දේශපාලන ස්ථාවරත්වය ප්‍රාර්ථනා කරන ජාත්‍යන්තර ප්‍රජාවේ බලාපොරොත්තු නොසලකා හැරීමකි.

එබැවින්, මෙවැනි අභියෝගාත්මක හා ව්‍යාකූල දේශපාලන වාතාවරණයක් තුළ වුවද, ශ්‍රී ලංකාවේ වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ශ්‍රී ලාංකීය ජාතියේත් ආරක්ෂාව හා යහපත පිණිස වඩාත් වගකීමෙන් හා රටේ ජනතාව විඳින දුක් ගැහැට පිළිබදව සංවේදීව, වත්මන් දේශපාලන සංසිද්ධීන් පිළිබඳ මනා අවධානයකින් යුක්තව කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ පක්ෂයේ අනුමැතියකින් තොරව අත්තනෝමතික ලෙස අමාත්‍යධූර භාරගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාතෘභූමිය වෙනුවෙන් හා ජනතාවගේ උන්නතිය උදෙසා ගෙන යන අනාගත දේශපාලන වැඩපිළි‍වලේ ජයග්‍රහණ සඳහා කිසිසේත්ම බලනොපාන බවද තරයේ අවධාරණය කර සිටිමු.

මෛත්‍රීපාල සිරිසේන 2022 සැප්තැම්බර් මස 09වන දින
සභාපති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය