hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 06, ප.ව. 1:20



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා නොමැතිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පසුගියදා සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මෙම සාකච්ඡාවට අමාත්‍ය ධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

ජනාධිපති ධූරය දරන සමයේ ගොඩනැංවීමට නොහැකි වූ නිදහස් පක්ෂය, මන්ත්‍රී ධූරයක් දරමින් ගොඩනැගිය හැක්කේ කෙසේදැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්, එහි ජ්‍යෙෂ්ඨයන් විමසා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

එහිදී නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරමින් ලිපි නිකුත් කර ඇති බැවින් යළිත් මෙවැනි සාකච්ඡාවලට තමන්ට හෝ මහින්ද අමරවීර අමාත්‍යවරයාට පැමිණෙන ලෙස දැනුම් නොදෙන ලෙසයි.

එහිදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ එවැනි ලිපි නිකුත් කර නොමැති බවයි.

ඒවා එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතා මත සිදුකර ඇති බව සඳහන් කර හිටපු ජනාධිපතිවරයා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අදාළ ලිපිය යොමු කර ඇති බව ද හෙළි කර තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට පටහැනිව යමින් අමාත්‍ය ධුර ලබා ගත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව ද පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගියදා පක්ෂ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ නිදහස් පක්ෂයේ තීරණයට පටහැනිව යමින් අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් පක්ෂය තුල දරණ තනතුරුවලින් ඉවත් කරන බවයි.

විනය ක්‍රියාමාර්ග නොගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් පසු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙසයි.

එසේ නොවුනහොත් ඉදිරි සතිය තුල නෛතික ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී තිබෙනවා.

එහිදී කලබල නොවන ලෙසත්, විනය ක්‍රියාමාර්ග නොගන්නා බවත් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙන බව එම ආරංචි මාර්ග පැවසුවා.

එසේම, සර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් බවත්, එය ඉදිරියට පවත්වාගෙන යෑම වගකීමක් බවත් මෙහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට අප දයාසිරි ජයසේකර මහතා සම්බන්ධ කර ගැනීමට කිහිප වතාවක් උත්සාහ කළද නොහැකි විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: