hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 23, පෙ.ව. 4:48



විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්තමාන රජයට පක්ෂපාතී කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු, සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ද තවත් ඇමති ධූර ලබා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න වර්තමාන රජයේ අමාත්‍ය ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බව එම ආරංචි මාර්ග පැවසුවා.

මේවන විටත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ශ්‍රී නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇමති ධූරයේ දිවුරුම් දුන්නේ පක්ෂයේ තීරණයට පටහැනිව බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය වූයේ ඇමති ධුර බාර නොගෙන රට වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදීත්, පිටතදීත් අවශ්‍ය සහයෝගය රජයට ලබාදීම බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිප ආරංචි මාර්ග පැවසූවේ වරප්‍රසාද වරදාන මත පක්ෂ තීන්දුවට පිටුපා ඇතැම් මන්ත්‍රීවරුන් ඇමතිකම් බාර ගැනීමට සූදානම් බවත් ඒ සමඟ ඩීල් දේශපාලනයක්ද පවතින බවත්ය.

මීට පෙර ඇමති ධූරවල සහ රාජ්‍ය ඇමති ධූරවල කටයුතු කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඒ ඒ ඇමති ධූරවල කටයුතු කළ සමයේ සිදු කළ ව්‍යාපෘති වලින් ලැබෙන ඩීල් පවත්වාගෙන යාම වෙනුවෙන්ද මෙවරත් ඇමති ධූර ලබා ගැනීමට කටයුතු කරනු ඇති බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.

කෙසේ වෙතත් මේවන විට ඇමැතිකම් ලබාදීමේ දැඩි අර්බුදයකට රජය මුහුණ දී සිටින බවද වාර්තා වනවා.

ඒ නව රජය සමග එක්වීමට සූදානමින් සිටින ප්‍රධාන පක්ෂ කීපයක මන්ත්‍රීවරුන්, අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා ගැනීමට විවිධ බලපෑම් කිරීම හේතුවෙන්.

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 22 ක උපරිමයකට තබා ගැනීමට රජය දැඩි උත්සාහයක නිරත වී සිටින බවත් අමාත්‍ය ධුර ලබා ගැනීමට මන්ත්‍රීවරුන් රැසක් උත්සාහ කිරීම නිසා මෙම අර්බුදය මතුවී ඇති බවත් සඳහන්.

එමෙන්ම සමගි ජනබලවේගය පක්ෂයේ ද තවත් ප්‍රබලයන් කීපදෙනකු වත්මන් රජය සමග එක්ව අමාත්‍ය ධුර ලබා ගැනීමට රහසිගත සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වනවා.

අණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පසුගියා 20 වනදා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.